විහාරස්ථානයකදී අභිරහස් ලෙස මියගිය දරුවාගේ සිරුර ගොඩ ගැනේ

විහාරස්ථානයකදී අභිරහස් ලෙස මියගිය දරුවාගේ සිරුර ගොඩ ගැනේ

December 23, 2022   01:24 pm

පැවිදි කිරීම සඳහා දෙමව්පියන් විසින් හොරණ හල්තොට, ලෙනවර රජමහා විහාරස්ථානයට භාරදී සිටියදී අභිරහස් ලෙස මියගිය පිරිමි දරුවාගේ සිරුර ගොඩගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මොරගහහේන , වීදියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී 12 හැවිරිදි යෙශිත් ගිම්හාන් දරුවාගේ සිරුර අද (23) හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඉදිරියේ ගොඩගත් බවය.

සිරුර යළි ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස හොරණ අධිකරණයෙන් නියෝග ලැබුණු බව පරීක්ෂණ පවත්වන බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 

දරුවා ඉකුත් සැප්තැම්බර් 21 වනදා විහාරාධිපති හිමියන් වෙත භාරදී තිබූ අතර ඔක්තෝම්බර් 28 වනදා විහාරස්ථානයේ ගබඩා කාමරයක සිරුර බාල්කයක  කහපාටට හුරු රෙදි කැබැල්ලකින් එල්ලෙමින් තිබියදී හමුවී ඇතැයි පොලීසිය සදහන් කරයි.

පසුව සිරුර වීදියගොඩ, බෙත්මගොඩ පොදු සුසාන භූමියේ ඔක්තෝම්බර් 31 දා මිහිදන් කර තිබුණි.

කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිසක් සිරුර ගොඩගන්නා අවස්ථාවට එක්වී සිටියහ.