පේරාදෙණිය ප්‍රහාරය ගැන කඩිනම් විමර්ශනයක් කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

පේරාදෙණිය ප්‍රහාරය ගැන කඩිනම් විමර්ශනයක් කරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

December 12, 2022   06:04 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු බලධාරීන්ට නියෝග කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පෙරේදා (10) දිනයේ  විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබුණි. 

පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇත.

පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහර දී ඇත.

කෙසේවෙතත් පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේය.