වායු ගුණ තත්ත්වය අනුව බලපෑම් එල්ලවන පිරිස
December 11, 2022 01:29 pm
බෙංගාල බොක්කේ පවතින අඩු පීඩන තත්ත්වයත් සමග සිදුවු සුළං හැමීමේ වෙනස හේතුවෙන් ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමා යාම නිසා ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඇතුළු ඒ අවට තිබු අයහපත් වායු ධාරාවල බලපෑම පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවට දරුණු ලෙස එල්ල විය.
ගොඩනැගිලි පර්යේෂන ආයතනය අද (11) පෙරවරුවේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට වායු දූෂණ මට්ටම ඊයේ (10) දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණි.
ඒ අනුව දිස්ත්‍රික්ක 7ක් අයහපහත් මට්ටමේ සිට සංවේදී කාණ්ඩයේ අයපහත් මට්ටමට අඩු වී ඇත.
කෙසේ වෙතත් වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එම තත්ත්වය වඩා සංවේදී සෞඛ්‍ය තත්ත්වයන් සහිත පුද්ගලයින්ට ශ්වසනාබාධ ආදී සෞඛ්‍ය ගැටලු මතුවන තත්ත්වයකි.
වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටමේ අගය ඊයේ 191 ක් ලෙස දැක්වුනත් අද එය 123 දක්වා අඩුවී තිබුණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ අගය 169 සිට 89 දක්වා පහළ බැස තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ අගය 155 ක් වූ අතර එම අගය අද දැක්වුණේ 97 ක් ලෙසය.
එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ වායු දූෂණ අගය 146 සිට 97 දක්වාත්, මහනුවර දිස්ත්‍රික්කයේ 126 සිට 106 දක්වාත් පහළ බැස තිබීම විශේෂත්වයකි.
මීට අමතරව අගය 114ක පැවැති රත්නපුර වායු දූෂණ මට්ටමේ අගය 77 දක්වාත් , අගය 106 පැවැති කුරුණෑගල වායු දූෂණ මට්ටමේ අගය 100 දක්වාත් පහළ බැස තිබුණි.
කෙසේවෙතත් යාපනය, වව්නියාව, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වායු දූෂණ මට්ටමේ අගය ඊයේ දිනට සාපේක්ෂව අද ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ දත්තවල සඳහන් වේ.