පොලීසියට හිසරදයක් වූ කොව්වා අල්ලයි

පොලීසියට හිසරදයක් වූ කොව්වා අල්ලයි

November 16, 2022   12:11 pm

තියුණු ආයුධවලින් පුද්ගලයින්ට පහරදෙන සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් තිදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ මූලස්ථාන පොලීසිය සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙක් ද ඒ අතර වන බවය.

එම සැකකරු පුද්ගලයින්ව තියුණු ආයුධවලින් කපා කොටා පහරදීම් සිදුකරන "කොව්වා" යනුවෙන් හඳුන්වන අයෙකි.

පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට තියුණු ආයුධවලින් පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක  සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු එලෙස අත්අඩංගුවට පත්වී තිබේ.

සැකකරුවන් සතුව තිබී පහරදීම් සඳහා යොදාගත් කඩු හතරක්, ත්‍රීරෝද රථ දෙකක් සහ හෙරයින් මත්කුඩු ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "බැද්දේ මිතුන්"  නමැත්තාට ඉකුත් 5 වනදා රාත්‍රියේදී දුරකථන ඇමතුමක් ලබාදී උපක්‍රමශිලීව ගෙන්වා ගෙන මඟ රැක සිටි පිරිසක් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලකර තිබූ බවය.

'කොව්වා' ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු 'බැද්දේ මිතුන්' නමැත්තාව දණගස්වා එලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ලකර ඇති  බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

එම ප්‍රහාරයෙන් "බැද්දේ මිතුන්" ගේ  පාද දෙකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.