බැංකුවක සේප්පුවක් කොල්ලකයි

බැංකුවක සේප්පුවක් කොල්ලකයි

November 5, 2022   11:28 am

ආරක්ෂිත කැමරාවලට නොපෙනෙන සේ කුඩයකින් මුහුණු ආවරණය කරගෙන බැංකුවක් තුළට ඇතුළුවූ කොල්ලකරුවන් පිරිසක් එහි සේප්පුවක් කොල්ලකා පළාගොස් තිබේ.

මෙම කොල්ලය සිදුවී ඇත්තේ අවිස්සාවේල්ල මාරබේ ප්‍රදේශයේ  බැංකුවකය.

කොල්ලය සඳහා සැකකරුවන් තිදෙනෙකු පැමිණ තිබේ.

බැංකුවේ රන් ආභරණ සහ මුදල් තැන්පත් කර තිබූ සේප්පුවක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති අතර එහි රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා ආභරණ සහ මුදල් තිබී ඇති බව අවිස්සාවේල්ල පොලීසිය පවසයි.

වෑන් රථයකින් පැමිණ ඇති කොල්ලකරුවන් බැංකුවේ ඉදිරිපස යකඩ දොර කඩා බැංකුව තුළට ඇතුළුවී ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව බැංකුව තුළ සහ ඉන් පිටත තිබූ ආරක්ෂිත කැමරා විනාශ කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

අපරාධය සිදුවූ ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ සැකකරුවන් විසින් සේප්පුව බැංකුවෙන් පිටතට ගෙන ඇත්තේ බිම දිගේ ඇදගෙන ගොස් බවය.

පසුව ප්‍රධාන දොර අසලදී එය වෑන් රථයට පටවාගෙන තිබේ.                   
කොල්ලකරුවන් බැංකුව තුළ විනාඩි 40 ක පමණ කාලයක් රැඳී සිට ඇති බවද පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0718 591 425, 0718 593 754 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස අවිස්සාවේල්ල පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.