පොල්හේන මුහුදු තීරය කොළ පාට වෙයි

පොල්හේන මුහුදු තීරය කොළ පාට වෙයි

October 27, 2022   03:45 pm

දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී ආකර්ෂණයක් හිමිකරගෙන ඇති මාතර පොල්හේන මුහුදු තීරයේ ජලය කොළ පැහැයට හැරී ඇති බවට වාර්තා වෙයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඊයේ දිනයේ සිට මුහුදු ජලය කොළ පැහැයට හැරී ඇති බවටය.

මෙරට ඇති තවත් සුන්දරම වෙරළ තීරයක් වන පොල්හේන මුහුදු තීරයේ පිහිටි කොරල්පරය හේතුවෙන් නොගැඹුරු ජලයෙන් හා කුඩා වැලි තලාවකින් යුත් මෙම වෙරළ තීරය දිය නෑමට වඩාත් සුදුසුම වෙරළක් ලෙස ප්‍රචලිතය.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නාරා ආයතනයේ නිලධාරීන්ද අද වෙරළ තීරයට පැමිණ ඇත.

ඔවුන් පවසන්නේ අසාමාන්‍ය ඇල්ගී වර්ධනයක් හේතුවෙන් මෙලෙස මුහුදු ජලයේ වර්ණය වෙනස් වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා.

"මෝසම් සක්‍රීය වීමත් සමග මුහුදේ පෝෂණ මට්ටම් වෙනස් වෙනවා ඒ පෝෂණ මට්ටම් වෙනස්වීමත් සමග මේ වගේ ඇල්ගී ගහණයන්ගේ අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඊයේ දිනයේ මෙම මුහුදු තීරය භාවිත කිරීම වළක්වලා තිබුණා. අද වෙනකොට මේ තත්ත්වය බැහැර ගිහිල්ලා තියෙන්නේ. අපිට ජනතාවට කියන්න තියෙන්නේ මුහුදු ජලය භාවිත කිරීම අද දිනයේ ගැටලුවක් නෑ සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අපි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන මේ සඳහා හේතු කාරණා නිශ්චිත වශයෙන් ම කියන්න බලාපොරොත්තු වෙනවා."