මත්පෙති සහ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන්ගේ සාදයක් වටලයි

මත්පෙති සහ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණ තරුණියන්ගේ සාදයක් වටලයි

October 22, 2022   07:33 pm

රටෙහි උගත් තරුණ පිරිස් ඉලක්ක කර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවය.

රාගල නකල්ස් කඳු වැටියට ආසන්නයේ පිහිටි නිවාඩු නිඛේතනයක නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහිතව මුදල් ගෙවා ඇතුළත් වියහැකි සාදයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට රහසිගත තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මෙහෙයුමක් ආරම්භ කරන්නේ අද දෙරණ උකුස්සාවද සම්බන්ධ කරගනිමිනි.

අනතුරුව අප මැදියම් රාත්‍රියේ අදාළ ස්ථානයට ළඟා වනවිට සාදය ආරම්භ වී තිබුණි.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් සාදය පැවැත් වුණු ස්ථානයට කඩාවැදුණු අතර ඒ වනවිටත් එහි සිටි සියලුම දෙනා මත්වී පසුවිය.

එහි සිටි තරුණයෙකු එම අවස්ථාවේදී තමන් සතුව තිබූ මත් පෙත්තක් විසි කළ අතර එය සුරාබදු නිලධාරීන් සොයාගෙන තිබුණි.

මෙම ස්ථානයේදී කොකේන් ඇතුළු තවත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය  සුරාබදු නිලධාරීන්ට සොයාගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී අනාවරණය වූයේ ඔවුන් කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන පිරිසක් බවය.

මෙහිදී තරුණියන් දෙදෙනෙකු සහ තරුණයන් 29 දෙනෙකු සුරාබදු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

තරුණයන් ඉලක්ක කර සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් ඉදිරියේදීත් රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙනි.