මාතර අපරාධ කොට්ඨාසය විවෘත කෙරේ

මාතර අපරාධ කොට්ඨාසය විවෘත කෙරේ

October 14, 2022   03:04 pm

අපරාධකරුවන්ට හෝ අපරාධ සැලසුම් කරන පිරිසට කිසිදු අවස්ථාවකදී එම අපරාධවලින් බේරීසිටීමට අවස්ථාවක් නොමැති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මාතර අපරාධ කොට්ඨාසය නමින් අද (14)  නව පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කළ අවස්ථාවේ දීය. 

දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට පොලිස්වසම්වලට අදාළව සිදුවන සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ වෙනත් විශේෂ අපරාධ විමර්ශනය කිරීමට ආදී කාර්යයන් මෙම නව මාතර අපරාධ කොට්ඨාස මගින් සිදුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, 

"විශේෂයෙන්ම මේ ප්‍රදේශවල සිදුවන අපරාධ මැඩපවත්වන්න අපරාධකරුවන් හඹා යන්න වගේම නිසි විමර්ශන සිදුකරන්න තමයි මේ අපරාධ කොට්ඨාසයේ අරමුණ. අපරාධකරුවන් හිතාගෙන ඉන්නවා අපරාධ කරනකොට, ඒ වගේම අපරාධ සැලසුම් කරනකොට ඒ අපරාධවලින් බේරෙන්න පුලුවන් කියලා. නමුත් කවදාවත් ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ වගේම අපි මතක් කරන්න කැමතියි... අපරාධකරුවන්ට, අපරාධ සැලසුම්කරන අයට එක කියමනක් තියෙනවා 'අවි ගත්තෝ අවියෙන්ම නැසෙති' කියන කතාව."