දරුවන්ගේ කුසගිනි නිවන්න පාසලෙන් වැඩපිළිවෙලක්

දරුවන්ගේ කුසගිනි නිවන්න පාසලෙන් වැඩපිළිවෙලක්

September 22, 2022   01:18 pm

පවතින ආර්ථික අර්බුදය හමුවේ කුසට අහරක් නොමැතිව අධ්‍යාපනය ලබාගැනීම සඳහා පාසල් වෙත පැමිණෙන සිසුන් පිළිබඳව පුවත් විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණි.

එවැනි තත්ත්වයක් මත ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිවා ආහාරවේල ලබාදීමේ වැඩපිළිවෙළක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර ඇති පුවතක් අපවෙත වාර්තා විය.

මව්පියන් මෙන්ම සමාජ සුබ සාධන සංගම්වලද දායකත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර පාසලට පැමිණෙන විට දිවා ආහාරය රැගෙන නොඑන සිසුන් සිටින කැලණිය කොට්ඨාසයේ පාසල් 12ක් තෝරාගෙන එම සිසුන් සඳහා දිවා ආහාරය සැකසීම වෙනුවෙන් වියළි ආහාර සළාක ලබාදීම කැලණිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය මගින් අද සිදුකර ඇත.

එම ආහාර සළාක එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබාදුන් අතර ඒවා විදුහලේදී පිළියෙළ කර පාසල් ළමුන්ට ලබාදීමට නියමිතය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නමඩගස්වැව ජාතික පාසලේ ආහාර බැංකුවක් පවත්වාගෙන යෑමට ද ගුරු මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ අනුව ගුරුවරු පාසලට පැමිණෙන විට වැඩිපුර කෑම පාර්සලක් රැගෙනවිත් එය ආහාර බැංකුවට ලබාදෙන අතර ආහාර නැති ළමුන් ඉන් ආහාර රැගෙන සිය ආහාර වේල සපුරා ගනු ලබයි.