සොරකම් කරන ලද බස් අලෙවිකරන ජාවාරමක් හෙළිවෙයි

සොරකම් කරන ලද බස් අලෙවිකරන ජාවාරමක් හෙළිවෙයි

September 20, 2022   03:37 pm

සොරකම් කරන ලද බස්රථ හඳුනාගැනීමට නොහැකි වනපරිදි වෙනස්කර අලෙවිකරණ සංවිධානාත්මක ජාවාරමක් අනාවරණය කරගැනීමට නිට්ටඹුව පොලීසිය සමත්වී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

සොරාගන්නා ලද බස්රථවල කොටස් මාරුකරමින් සහ ව්‍යාජ ලේඛන සකස් කර එලෙස අලෙවිකරන බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

නිට්ටඹුව රුග්ගහවිල ප්‍රදේශයේදී පසුගිය 10 වනදා බස්රථයක් සොරකම් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මෙම ජාවාරම පිළිබඳ අනාවරණය වී තිබේ.

එලෙස සොරකම් කරන ලද බස්රථයක් වතුපිටිවල රෝහල පාරේ දමාගොස් තිබියදී ඊයේ (19) නිට්ටඹුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

සිද්ධියට අදාළව කොස්ගම බෝයවලාන ප්‍රදේශයේ ගරාජයක් පරීක්ෂා කිරීමේදී දමාගිය බස් රථයේ කොටස් බවට සැකකරන අමතර කොටස් රැසක් සහ අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි තවත් බස් රථ 03ක් නිට්ටඹුව පොලීසිය විසින් සොයා ගත්තේය.

වර්ණ ගැන්වීමට භාවිත කරන උපකරණ, අංක තහඩු, ඇතුළු වාහන අමතර කොටස් රාශියක් ද අදාළ ගරාජය තුළ තිබී පොලීසියට හමුවී ඇත.

නිට්ටඹුව පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සොරාගන්නා ලද බස්රථ කලුඅග්ගල ප්‍රදේශයේ වනාන්තරයක් තුළට රැගෙනගොස් එම බස්රථ හඳුනාගැනීමට නොහැකි වන ආකාරයෙන් වර්ණ ගන්වා නැවත ගරාජය වෙත රැගෙන එන බවය. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගරාජයේ හිමිකරු, ඔහුගේ සහෝදරයෙකු හා තවත් පුද්ගලයෙක්වය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.