කොහාගේ බිත්තර පොහොට්ටුව රකිනවා...බිත්තර කන්න එන නයි පොළො‍ංඟුන්ට කොටනවා - ඇමති ප්‍රසන්න

කොහාගේ බිත්තර පොහොට්ටුව රකිනවා...බිත්තර කන්න එන නයි පොළො‍ංඟුන්ට කොටනවා - ඇමති ප්‍රසන්න

September 2, 2022   05:06 pm

ජනපති රනිල්ට "අපේ කූඩුවේ" බිත්තර දාන්න දුන්නේ කොහා බව දැනගෙන යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (2) අයවැය විවාදයේදී පැවසීය.

එබැවින් "කොහාගේ බිත්තර" පොහොට්ටුව රකින බවත් බිත්තර කන්න එන "නයි පොළො‍ංඟුන්ට" කොටන බවද ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු පැවසුවේ...

"පසුගිය දිනවල විවාදයට සහභාගි වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා කලේ මේ අර්බුදයෙන් ගොඩඑන මාර්ගය නොවේ. ජනාධිපතිතුමාව හුදකලා කරලා පොහොට්ටුවට හා රාජපක්ෂවරුන්ට ගහලා ඔවුන්ගේ දේශපාලන අර්බුදයෙන් ගොඩයන ක්‍රමයක්. අද ඒ අයට ජනාධිපතිතුමා හොඳවෙලා ජනාධිපතිතුමාව පත්කරපු පොහොට්ටුවේ අපි දුෂ්ටයෝ වෙලා. එයාලාට මතක නැහැ එතුමන්ලා වර්තමාන ජනාධිපතිතුමාව හැර ගිය හැටි. ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩගන්න ඒ අයට ආරාධනා කළා. අද මේ විපක්ෂය එතුමාව කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. මතක තියාගන්න එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා. ඔව් අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා. අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ. ජනාධිපතිතුමායි අපියි එකට වැඩ කරනවා. ඒක තමා System Change එක. එතුමා මුලින්ම කූඩු හදන්න උත්සාහ කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාව කොටලා එලෙව්වේ. අපි ස්තුතිවන්ත වෙනවා අර්බුදය තේරුම් අරගෙන හරීන් හා මනුෂ ඇමතිවරු කළ කැපවීමට. මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව. ඒ බිත්තර කන්න එන නයි පොළො‍ංඟුන්ට අපි කොටනවා. බිත්තර කන්න දෙන්නේ නැහැ.”