ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට
September 1, 2022 12:42 pm
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අධික වර්ෂාපතනයත් සමග පහත් බිම් රැසක් මේ වනවිට ජලයෙන් යටව තිබේ.
කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ඇතැම් ප්‍රදේශවලින් ඉහළ යමින් පවතින බැවින් පහත්බිම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ වනවිට කළු ගඟ ආශ්‍රිත පහත් බිම්වල මේ වනවිටත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ අනුව, කළු ගඟේ අතු ගංගා වන මඟුරු ගඟ සහ කුඩා ගඟ මඟුර සහ මිල්ලකන්ද යන ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත් රත්නපුරයෙන් ද පිටාර මට්ටම ආසන්න වී ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවය.
කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන මීටර් 200ක පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදාහැරෙන බැවින් බුලත්සිංහල ප්‍රදේශයේ පහත් බිම් සහ මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවී තිබේ.
එසේම ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පහත්බිම් රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.
මේ අතර කුට්ටියාවත්ත, බඹරහිකඩ, පාතවැලිවිටිය සහ කුරුපනාව ප්‍රදේශවලද මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවී තිබේ.
මඟුරු ගඟ පිටාර ගැලීමෙන් මතුගම කලවාන මාර්ගය මිදලන ප්‍රදේශයෙන් යටව ඇත.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 195කි.
මේ අතර පවතින වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මක අඩුවීමක් හෙට දිනයේ අපේක්ෂා කළත් අනිද්දා වනවිට යළි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.