බොර තෙල් මිලදී ගත්තේ ඇත්තටම රුසියාවෙන්ද ?
August 23, 2022 08:22 am
ශ්‍රී ලංකාවේ සිදුවන දැවැන්තම වංචාසහගත ක්‍රියාවලිය ඉන්ධන මිලදී ගැනීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (22) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
රුසියාවෙන් ඉන්ධන මිලදී ගන්නා බවට පෙන්වමින් තත්ත්වයෙන් බාල බොරතෙල් වර්ගයක් ඩුබායි රාජ්‍යයේ ඇති සමාගමක් හරහා මිලදී ගෙන ඇති බව මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.
"ලංකාවේ තිබෙන දැවැන්තම වංචාසහගත ක්‍රියාවලිය තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලිය කියලා අපි කියන්න ඕනේ. රුසියාවෙන් තෙල් මිලදී ගත්තා කියලා ප්‍රසිද්ධ කරනවා. නමුල් රුසියන් සමාගමකින් කෙලින් තෙල් මිලදී ගැනීමක් නෙමේ කරලා තියෙන්නේ. සැපයීම පමණයි ඒ සමාගම් කරන්නේ. මිලදී ගෙන තිබෙන්නේ ඩුබායි හි පිහිටි කොරල් එනර්ජි නම් සමාගම හරහා. අපේ සපුගස්කන්ද පිරිපහදුව, පිරිපහදුකරන හොඳම බොර තෙල් වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකටත් පහලින් තිබෙන යූරල් වර්ගයේ බොර තෙල් ලබා ගන්න පුළුවන් තවත් අඩු මුදලකට. ඇත්ත කතාවක්ද මම දන්නේ නෑ, දීර්ඝ කාලීන ගිවිසුමක් යටතේ රුසියන් යුරල් කියන බොරතෙල් බැරලයක් ඩොලර් 35ත් 50ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දීත් 117කට මිලදී ගත්තේ කොහොමද?... කවුද මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළේ අනුමත කළේ. ටෙන්ඩර් කැඳවීම කොහොමද කළේ. මේවා තමා ප්‍රශ්න. මේ ගැන හොයන්න කියලා අපි කියන්නේ. අපිත් බලාපොරොත්තු වෙනවා මේ ගැන කෝපා සහ කෝප් කමිටුවලදී ප්‍රශ්න කරන්න. ඇමතිවරයාත් කියලා තිබුණා මේ පිළිබඳව හොයනවා කියලා."