ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට පොලියක්
August 8, 2022 10:22 pm
විදුලි සම්බන්ධතා ලබාදීමේ දී පාරිභෝගිකයන්ගෙන් අයකරනු ලබන තැන්පතු මුදල් සඳහා පොලියක් ගෙවීමට කටයුතු කරන බවට ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.
විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් මේ බව දැනුම් දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ විදුලිබල පනතේ 28 වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබාදීමේ දී අයකරනු ලබන තැන්පතු මුදල් සඳහා පොලියක් ගෙවීමට විදුලිබල මණ්ඩලය බැදී සිටින බවය.
එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් එවැනි ගෙවීමක් සිදුනොකරණ බව පෙත්සම්කරු ගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ පාරිභෝගිකයා සතු එම අයිතිවාසිකම පිළිගන්නා බවය.
කෙසේ වෙතත් තම ආයතනය මේ වන විට මූල්‍ය ගැටලුවකට මුහුණ පා සිටින බැවින් අදාළ පොලිය ගෙවීමට නොහැකි බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දී තිබේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ අදාළ මුදල පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් අඩු කිරීමට හැකියාවක් පවතින බවය.
අනතුරුව මෙම කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 04 වෙනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විදුලිබල සහ පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය, එහි සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ, එහි ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.