අධිකරණය තුළ වෙඩිතැබීමේ සිද්ධියේ ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
August 5, 2022 08:11 pm
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවන අතරතුර විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙක් ඉලක්ක කර ඊයේ (04) දහවල් වෙඩි තැබීමක් සිදුවුණි.
එම වෙඩික්කරුට අධිකරණය තුළ අසුන්ගැනීමට අවස්ථාව සලසා දුන්නේ යැයි සැකකෙරෙන පුද්ගලයකුගේ CCTV වීඩියෝවක් මේ වනවිට නිකුත් වී තිබේ.
වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයාට මරණ තර්ජනයක් එල්ලවී තිබූ බවට අධිකරණයට ද කරුණු වාර්තාකර තිබූ පසුබිමක මෙය සිදුවී ඇති බව ගල්කිස්ස නීතිඥ සංගමය පවසා තිබුණි.
අධිකරණ පරිශ්‍රය තුළ ඊයේ දහවල් 1.45ට පමණ ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා හමුවේ නඩු කටයුත්තක් විභාග කෙරෙමින් පැවතුණි.
විත්තිකරුවන් දෙදෙනෙකුගෙන් යුතු එම නඩුකරය රුපියල් 40,000ක විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් පවරා තිබූ බව නිතීඥයින් පෙන්වාදුනි.
එහිදී මුව ආවරණයක් පැළඳ තුන්වැනි දොරටුවෙන් පිවිස අධිකරණ ශාලාව තුළ පසුපස බංකුවක සැකකරු අසුන්ගෙන සිටින අයුරු දැකගත හැකිවිය.
අනතුරුව ඔහු ක්ෂණිකව පිස්තෝලකයකින් එම නඩුවේ පළමු විත්තිකරු ඉලක්කකර වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණි.
කෙසේවෙතත් පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් විත්තිකරුට හෝ අසල සිටි කිසිවෙකුට කිසිදු හානියක් සිදුව නොමැති බවය.
ප්‍රහාරයකයාගේ ඉලක්කය වූ විත්තිකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරයෙන් පසු අධිකරණ භූමියෙන් පිටතට වෙඩික්කරු පළායන ආකාරයද CCTV කැමරාවල සටහන්ව තිබුණි.
වෙඩික්කරු එහිදී අධිකරණයේ පිවිසුම අසල පිහිටි පොලිස් ආරක්ෂක කුටිය දෙසටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හා කාන්තා නිලධාරිනියක් එහි රාජකාරියේ නිරතව සිට තිබුණි.
ප්‍රහාරයෙන් පසු මාර්ගය ඔස්සේ දිවගොස් පළාගිය වෙඩික්කරු වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙක් බවට මූලික විමර්ශනවලින් හඳුනාගෙන ඇත.
