කෝප් කමිටුවේදී හෙළිවූ විදුලිබල මණ්ඩලයේ අමුතු වැඩ

කෝප් කමිටුවේදී හෙළිවූ විදුලිබල මණ්ඩලයේ අමුතු වැඩ

June 22, 2022   06:02 pm

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම්, මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබදව සොයාබැලීමට කෝප් කමිටුව වෙනම විශේෂයෙන් රැස්වීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹුණි.

මීට පෙරද පසුගිය (10) වැනිදා මේ පිළිබඳව සාකච්ඡාකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුවට කැඳවා තිබූ අතර එදින කාලය ප්‍රමාණවත් නොවීම නිසා සාකච්ඡා කිරීමට නොහැකි කරුණු කිහිපයක් මෙහිදී අවධානයට යොමුවිය.

විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මිලදීගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාකිරීමේදී ඉදිරිපත්වන කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් පෙනෙන බව පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වාදුන්හ.

මේ නිසා ජනන සැලැස්ම ඇතුළු සියලු කාරණා පිළිබඳ සොයාබැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව සහ කථානායකවරයා දැනුවත් කරන ලෙස එම මන්ත්‍රීවරු කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සොයාබැලීම සඳහා කෝප් කමිටුවට විශේෂයෙන් රැස්වීමට හැකි බවය.

 මේ නිසා වඩාත් හොදින් මේ පිළිබඳ සොයාබැලීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අනුව පැමිණ සිටි මන්ත්‍රීවරුන්ද ඊට එකඟවූ අතර මේ පිළිබඳව සොයාබැලීමට කෝප් කමිටුව ඉදිරියේදී විශේෂයෙන් රැස්වීමට තීරණය විය.

එසේම 2008 නොවැම්බර් 14 දින අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ 2009 මැයි 26 වනදා අංක 39 දරණ කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත කාර්ය මණ්ඩලයට වරින්වර විවිධ කාර්ය මණ්ඩල දීමනා ගෙවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

ඒ අනුව මෙම දීමනා ලෙස  2021 වර්ෂයේ දී රුපියල් මිලියන 2,134.9 ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4 ක් ලබාදී ඇති බව අනාවරණය විය.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම සියලු මුදල් ජනතා මුදල් බැවින් වගකීම් සහිත විය යුතු බවය.

එසේම දීමනා ගෙවීම් සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිලු සහගත බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නිදසුනක් ලෙස 'මනු කියවීමට' අමතරව 'නිවැරදිව මනු කියවීම' ලෙස දීමනාවක්ද ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
තවද වැටුප් සංශෝධනය කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මස අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුණ විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබූ නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක (PAYE/APIT) බදු ගෙවා තිබූ බව ද මෙහිදී අනාවරණය විය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට මෙම බදු ගෙවීම නවත්වා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය රට පැත්තෙන් විශාල ප්‍රශ්නයක් බවය.

අවසානයේ මෙම මුදල රටේ මහජනතාවගේ මුදල්වලින් ගෙවා ඇති බව මින් පැහැදිලි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේ දී ලංකා විදුලි බල මණ්ඩලය විසින් සේවක වැටුප 25% කින් වැඩි කර තිබුණි.

නමුත් අදාළ පාර්ශවයන්, සේවා යෝජකයින් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පතට අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් බැවින් මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව මෙහිදී අනාවරණය විය.

මේ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 ක් බවද කෝප් කමිටුව පැහැදිලි කළේය.

කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම ආයතනය රාජ්‍යට හිමි නැති ස්වරූපයක් දිස්වන බවය.

තවද 2018 - 2034 දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුව සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය 2022 වන විට ක්‍රියාත්මක කළ යුතුව තිබුණ ද මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ රුපියල් මිලියන 301.19ක වියදමක් දරා තිබියදී ව්‍යාපෘතියේ කටයුතු නැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම ශක්‍යතා අධ්‍යනයට මිලියන 301.19 ක වියදමක් දරා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට සුදුසු ශක්‍යතා මට්ටමක නොපවතින බව දක්වමින් ව්‍යාපෘතිය අතරමග අවසන් කිරීම සිදු කොට ඇති බව මේ අනුව පෙනී යන බවය.

මේ නිසා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස නිර්දේශ කළේය.

මීට අමතරව ලංකා ගල්අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත ටොරියන් යකඩ හා වානේ සමාගම (TISCL) වෙතින් 2013 වර්ෂයේ දී මිලදී ගත් ගල්අඟුරු තොගයක් වාරකන් බලපෑම හේතුවෙන් ගොඩබෑමට නොහැකිවීම පිළිබඳව ද,  දිගුකාලීන ජනන සැලැස්මට අනුව සැලසුම් කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාරවලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.