ඇමති ප්‍රසන්න වරදකරු වෙයි

ඇමති ප්‍රසන්න වරදකරු වෙයි

June 6, 2022   03:10 pm

2015 වසරේදී ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබාගත්තේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළේය.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 5 කට අත්හිටුවන බව ද සඳහන් කළේය.

එමෙන්ම විත්තිකරුට රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැරහරිනු ලැබුවහොත් අමතරව මාස 9 ක සිර දඬුවම් නියම කරන බවත් සඳහන් කළේය.

ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දිය ගෙවීම පැහැර හැර ලැබූවහොත් අමතරව මාස 3ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබාසිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙක් නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතියදීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.