රාමසාන් උත්සවය අදයි

රාමසාන් උත්සවය අදයි

May 3, 2022   06:56 am

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අදට (03) යෙදී තිබේ.

පුරා මාසයක් උපවාස ශිලය රැකීමෙන් පසු අද පවත්වන රාමසාන් උත්සවය සම්බන්ධයෙන් කොළඹ මහ පල්ලිය භාරකාර මණ්ඩලයේ සභාපති තවුෆික් සබයිර් මවුලවිතුමා මෙලෙස අදහස් පළ කළේය.

"දින 30ක කාලයක් තුළ අප මුස්ලිම් ජන කොටස් රටේ පවතින වර්තමාන තත්ත්වය හේතුවෙන් හුඟාක් ආපදාවන්ට මුහුණ පා දින 30ක කාලයක් නෝම්බි අල්ලමින් මහා පරිත්‍යාගශීලිව අන් අයට උදව් කරමින් හැමෝම එකසේ ක්‍රියා කළා. දින 30ක නෝම්බි කාලයකට පසුව මුස්ලිම් ප්‍රජාව අද දින රාමසාන් උත්සවය සමරන අතර, අප කොළඹ මහ පල්ලිය විශේෂ ඉල්ලීමක් කරන්නේ වර්තමාන ආපදා තත්ත්වය තුළ සාමාදානයෙන් සමරන්න කියලා. අන් අයට උදව් උපකාර කරමින් සියලු ජන කොටස් එකමුතුව ජීවත්වෙන්න කියා."

රාමසාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ආගම් මඟින් උගන්වනු ලබන සමාජ ධර්මතා සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට අප සියලුදෙනාට වගකීමක් ඇති බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාමසාන් පණිවුඩයෙන් ඉල්ලා සිටින්නේ, මුළු රටම අභියෝගාත්මක කාලයකට මුලපුරා ඇති මෙම කාලය තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව ද සංවේදී වෙමින් පරිත්‍යාගශීලිත්වය කෙරෙහි සිත නැඹුරු කරන ලෙසය.