උඩප්පුව පාලම අවදානම් වෙයි

උඩප්පුව පාලම අවදානම් වෙයි

December 30, 2021   03:44 pm

මුහුදු ඛාදනය හේතුවෙන් උඩප්පුව මෝය හරහා ඉදිකරන ලද නව පාලම අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ ධීවරයෝ පවසති.

රුපියල් කෝටි 46ක් වැයකරමින් ඉදිකර ඇති එම පාලමේ ඉදිකිරීම් කටයුතු පසුගිය රජයේ සමයේ ආරම්භ විය.

මේ වන විට පාලමේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇතත් එය තවමත් විවෘත කර නොමැත.

වැසි කාලයේදී බත්තුළුඔය ජලයෙන් පිරීගිය විට උඩප්පුව මෝය කපා දැමීම සාමන්‍යයෙන් සිදුවීමක් වන අතර මෝය කපාදැමීම ප්‍රමාද වන විට පුලිච්චාකුලම, කීරියන්කල්ලිය වැනි ප්‍රදේශ වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී යන බව ප්‍රදේවාසීන් පවසයි.

උඩප්පුව මෝය කපාදැමූ විට සිදුවන්නේ, ගම්මානය දෙකඩ වී ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිටින බව වාර්තා වෙයි.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස උඩප්පුව මෝය හරහා පාළමක් ඉදිකිරීමට පසුගිය රජය කටයුතු කරන ලදි.

ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ඒ සඳහා රුපියල් කෝටි 46ක් වෙන් කර තිබුණි.

මුහුද රළු වීම හේතුවෙන් හානියට පත්වෙමින් පවතින්නේ එම පාලම බව ධීවරයින් පවසති. 

පාලමේ ස්ථාන 03 ක් මේ වන විට දරුණු ලෙස හානියට පත්ව ඇති ආකාරය දක්නට ලැබෙන බව අප වාර්තාකරු පැවසීය. 

පාලම ආසන්නයේ ඇති නිවාස 03 ක්ද, ධීවර වාඩි 04ක් ද මේ වන විට මුහුදු ඛාදනයට හසුවීම නිසා විනාශයට පත්ව ඇත.

මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවකාලිවක කළු ගල් කීපයක් ගෙනවිත් දමා ඇති බව ප්‍රදේශයේ ධීවරයින් පවසයි.

නමුත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් පවසති.

පවතින තත්ත්වය තවත් වැඩි වුවහොත් අලුතින් ඉදිකර ඇති පාලම අනතුරට පත්වීමට ඉඩ ඇති බවද උඩප්පුව ධීවරයෝ පෙන්වා දෙති.