රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - දෙරණට සම්මාන රැසක්

රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - දෙරණට සම්මාන රැසක්

November 29, 2021   08:13 pm

රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (29) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

එහිදී ටී.වී.දෙරණ සම්මාන රැසකින් පිදුම් ලැබීය.

විශිෂ්ඨ නිර්මාණ දායකත්වයෙන් ශ්‍රී ලාංකේය රූපවාහිනි ක්ෂේත්‍රය පෝෂණය කළ මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇගයීමේ අරමුණින් පවත්වනු ලබන "රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2020" අද පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය රූපවාහිනි උපදේශක සභාව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කර තිබුණි.

ක්ෂේත්‍ර 23ක් යටතේ ජයග්‍රාහකයින් 74ක් සඳහා මෙහිදී සම්මාන පිරිනැමුණි.

ඒ අනුව ප්‍රශස්තම කථිකාමය වැඩසටහන සඳහා වන රාජ්‍ය සම්මානය ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ සුමින්ද තාරක ජයසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "TALK WITH CHATHURA" වැඩසටහනට හිමිවුණි.

ඉංග්‍රීසි අංශයේ ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය සඳහා වන රාජ්‍ය සම්මානය "අද දෙරණ" වෙනුවෙන් මහේෂ් ජොනී මහතා විසින් හිමි කරගනු ලැබීය.

ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන සඳහා වන රාජ්‍ය සම්මානය "අද දෙරණ 24" නාලිකාවේ විකාශය වූ "STORY OF CHAMPIONS" වැඩසටහනට හිමිවූ අතර එහි අධ්‍යක්ෂ සුමින්ද තාරක ජයසේකර මහතා විසින් සම්මානය භාරගනු ලැබීය.

එමෙන්ම ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක - සිංහල රාජ්‍ය සම්මානය "අද දෙරණ" ප්‍රවෘත්ති නිවේදිකා වසන්ති නානායක්කාර මහත්මිය විසින් දිනාගත්තේය. 

ඇය වෙනුවෙන් සම්මානය භාරගනු ලැබුවේ "අද දෙරණ" ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදිකා ජනිතා ලියනගේ මහත්මිය විසිනි. 

ප්‍රශස්තම බහු කැමරා නිෂ්පාදනයට හිමි රාජ්‍ය සම්මානය "ඩ්‍රීම්ස්ටාර් සීසන් 8" අවසන් මහා තරගයට හිමිවිය.