දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

November 6, 2021   07:38 am

නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුවන් චමින්ද හෙවත් දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් එම නියෝගය ලබාදුන් අතර ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදා හරින ලෙස විත්තිය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදින නිකුත් කරන බව දැනුම් දුන් බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසුවේය.

දෙමටගොඩ රුවන් නමැත්තා විසින් අයථා ලෙස උපයාගත් මුදලින් ඔහුගේ 26 හැවිරිදි පුත්‍රයා ඇතුළු පිරිසකගේ නමින් මිලදී ගෙන ඇති කෝටි ගණනාවක සුඛෝපභෝගී වාහන 8 ක් මේ වන විට පොලීසිය භාරයට ගෙන ඇති බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න මහතා අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන් වේ.

එමෙන්ම ඔහුගේ නිවසේ තිබී සොයාගත් කිලෝ එකහමාරක රන් ආභරණවල වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සූක්ෂම ආකාරයෙන් රැස් කරගත් තොරතුරු සහ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් සිව් දෙනෙකුගෙන් අනාවරණය වූ කරුණු මත අදාළ පරීක්ෂණය සිදුකරන බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

මේ අතර කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ විසින් හෝටලයක් පවත්වාගෙන යාමට වත්කම් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වී ඇති අතර අදාළ අවන්හලෙන් ගත වූ වසර 3 තුළ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂ 5 බැගින් වන බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් වැටලීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ ආදායම රුපියල් ලක්ෂ 50 බැගින් වෙනස් කර ඇති බව රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.