දීපාවලි දිනය අද
November 4, 2021 06:46 am
ලොව පුරා හින්දු බැතිමතුන් අද (04) දීපාවලි දිනය සමරනු ලබයි.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.
නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරේ.
මෙවර දීපාවලි උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව මෙන්ම වතුකරයේ ජනතාව ද දැඩි උනන්දුවක් දක්වන බව "අද දෙරණ" වාර්තාකරුවන් සඳහන් කළේය.
දීපවාලි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් බැහැර වී සිත් පහන් කරවන ප්‍රඥා ලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංඛේතවත් කරන බවය.
දීපවාලී මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලුදෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවායි යන්න ප්‍රාර්තනා කරන බව ජනාධිපතිවරයා සිය දීපවාලි දින පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ.
සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත්වීමට සියලුදෙනාට කාලය උදාවේවා යි දීපවාලී දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"අඳුර නැති කිරීමට ආලෝකය අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු කරදර දුරුවී නිරෝගිව සතුටින් ජීවත්වීමට කාලය උදාවේවා. දීපාවලි උත්සව දිනයේ දී මේ ප්‍රාර්ථනය ද සමඟින් ආදරය පිරුණු සිතින් පහන් දල්වමු."
මේ අතර දීපාවලි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පෙන්වාදෙන්නේ වර්තමානයේ ලොව පුරා ව්‍යාප්ත කොරෝනා උවදුර නමැති නපුර පරාජය කිරීම උදෙසා මේ උතුම් දිනයේ ප්‍රාර්තනා කළ යුතු බවය.
සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අනෝන්‍ය අවබෝධයක් ඇති කිරීමෙහිලා මේ අපූරූ උත්සවය ඉමහත් පිටිවහලක් වන බව ද විපක්ෂ නායකවරයා සිය දීපාවලි පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ.