ලාෆ් ගෑස් හිඟයක් ?
September 11, 2021 07:28 pm
මිල වැඩි කළද තවමත් වෙළෙඳපොළේ තමන්ට මිලට ගැනීමට ලාෆ් ලෑස් නොමැති බවට ජනතාව මැසිවිලි නඟති.
ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා පවසන්නේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය හා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බවය.
එමෙන්ම එක් ගෑස් තොගයක් ගෙන්වීමට අවම වශයෙන් ඩොලර් මිලියන 10ක් පමණ ණයවර ලිපි සඳහා අවශ්‍ය බව ද පැවසු ඒ මහතා, ඩොලර් හිඟය දැඩි ලෙස මෙයට බලපා ඇතැයි පැවසීය.
ඉදිරි මාස 4 උත්තරධ්රැවයේ සීත කාලය පැමිණීම හේතුවෙන් ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා ගෑස් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙරට ගෑස් වෙනළෙඳපොළේ 20 % ක් පමණ ලාෆ් ගෑස් භාවිත කරන අතර ඉකුත් අගෝස්තු මස මුලදී වෙළඳපොළේ එම ගෑස්වල හිඟයත් නිර්මාණය විය.
අර්බුදය පාලනය කිරීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට රජය එම සමාගමට අවසර ලබාදුන්නේය.
ඒ අනුව එම වර්ගයේ කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරයක් රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 145 කින් මිල වැඩි කරනු ලැබීය.
එහෙත් තවමත් වෙළඳපොළේ ලාෆ් ගෑස් නොමැති බවට පාරිභෝගිකයින් මැසිවිලි නඟති.