ළඟම එන්නත හොඳම එන්නත

ළඟම එන්නත හොඳම එන්නත

July 28, 2021   03:51 pm

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවෙයි.

ඊයේ (27) වනවිට වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන ලක්ෂ 78 ඉක්මවා තිබේ. 

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 19 කි.

එහෙත් සමහර පුද්ගලයින් විවිධ හේතු දක්වමින් තවමත් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම මඟ හරිමින් සිටින ආකාරය අප සමාජයේ දක්නට ලැබේ.

සමහරු මෙරට භාවිත කරන එන්නත් වර්ග ගැන විවිධ දුර්මත සමාජගත කරමින් සිවීම ඊට එක හේතුවක් බව සෞඛ්‍ය අංශවල මතයයි.

මේ වනවිට මෙරට ලෝකයේ භාවිත කෙරෙන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා වැනි කොවිඩ් මර්දන එන්නත් එන්නත්කරණ වැඩසටහන් සඳහා යොදාගන්නා අතර චීන නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නත ද මෙරට භාවිතය සඳහා පසුගියදා අනුමැතිය ලැබුණි.    

චීන කොවිඩ් එන්නත් පිළිබඳ ව සමහරුන් තුළ ඇත්තේ සැකයකි.

නමුත් පසුගියදා මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී හඳුනාගෙන ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සයිනොෆාම් එන්නත හොඳින් ප්‍රතික්‍රියා දක්වන බවය.

එබැවින් එම එන්නත ගැන සැකයක් හෝ අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඔවුන්ගේ අදහස විය.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පසුගියදා දෙරණ "Big Focus" වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ "ළඟම එන්නත හොඳම එන්නත" සේ සලකා කටයුතු කිරීම වැදගත් බවය.

උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මෙරටදී ලබාදෙමින් තිබූ එන්නත ප්‍රතික්ෂේප කළේ ෆයිසර් එන්නත පමණක් ලබාගන්නා බව පවසමින් බවය.

නමුත් එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී හෙළිවී තිබුණේ ෆ්ලවර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවය.  

වෛරසය ට නිරාවරණය වුවහොත්, එන්නත ලබාගත් අයට ද කොවිඩ් ආසාදනය වීමේ හැකියාව පවතී.

නමුත් වෛද්‍යවරු පවසන්නේ එන්නත ලබාගෙන ඇත්නම් එවැනි අයෙක් ආසාදිතයෙක් වුවහොත් ඔවුන් ට කොවිඩ් සංකූලතා මතුවීම යම් දුරකට පාලනය වන බවය.
      
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතර කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තාවන බැවින් එම පුද්ගලයින් කඩිනමින් එන්නත් කිරීම දැනට සිදුවෙමින් ඇති මරණ සංඛ්‍යාව අඩු කිරීමට වැදගත් බවය.

තවත් කොවිඩ් ආසාදිත මරණ 48 ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (27) තහවුරු කළේය. මෙම මරණ සිදුව ඇත්තේ ජුලි 26 වනදා ය.

ඒ සමග මෙරට මෙතෙක් තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 26 වනදා වනවිට 4,195 දක්වා ඉහළ ගොස් තිබුණි.
 
මෙරට මේ වනවිට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයද පැතිර යන බැවින් තම පවුල්වල වැඩිහිටියන් සහ එන්නත් ලබාගැනීමට අවස්ථාවක් නොමැති සාමාජිකයින් බේරා ගැනීමට නම් එන්නත් ලබාගැනීම කළයුතු බවට නිර්දේශ වී ඇති සියලුදෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.