ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රිඩා කිරීම පිළිබඳ කණගාටු වෙනවා -කාලිංග කුමාරගේ
July 2, 2021 08:01 pm
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන සැලකිල්ල වෙනත් කිසිදු ක්‍රීඩාවකට නොදක්වන බවට ඕනෑ තරම් උදාහරණ අප දැක තිබේ.
මේ පුවත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ කණගාටුදායක සිදුවීමක් පිළිබඳවය.
ඉන්දියාවේ පටියාලා හි පසුගියදා පැවති 60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූයේ ඔවුන්ට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් සපුරාගැනීම සඳහා වෙනත් තරගාවලියක් නොතිබූ පසුබිමකය.
අවම පහසුකම් යටතේ ඉන්දිය සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පදක්කම් 9ක් දිනාගැනීමට සමත් වුණි.
එම තරගාවලිය අවසන්කර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි හෝටලය තුළ නිරෝධායනය වෙමින් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ සුගතදාස පුහුණු ධාවන පථයේ පුහුණුවීම් කිරීමට ඔවුන්ට පහසුකම් ලබාදෙන බව ක්‍රීඩා බලධාරින් මලල ක්‍රීඩා කණ්ඩායමට මීට පෙර දන්වා තිබූ බව සඳහන් වේ.
එහෙත් අද (02) අලුයම දිවයිනට පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වෙත යවනු වෙනුවට කිසිදු දැනුම්දීමකින් තොරව කටුනායක සිට කෙලින්ම මාතර අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනයාමය.
ඒ අනුව ඔවුන්ට පුහුණුවීම් සිදුකිරීමටද අවස්ථාවක් හිමි නොවේ.
එහි ඇති බරපතළම කාරණාව වන්නේ මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 3000 බාධක දිවීම ඉසව්වට සහභාගිවීම සඳහා සුදුසුකම් සපුරා ඇති නිලානි රත්නායකද මෙම කණ්ඩායමේ සිටීමය.
ඔලිම්පික් උලෙළ ආරම්භවීමට තවත් සති තුනක පමණ කාලයක් ඇති පසුබිමක නිලානි සාමාන්‍ය පුද්ගයින් සමග නිරෝධායනයවීම අවදානම් සහගත වන අතර ඇයට පුහුණුවීම් සිදුකිරීමට නොහැකිවීමත් ඇයගේ ඔලිම්පික් සූදානමටද සෘජු බලපෑමක් එල්ල කරන බව රහසක් නොවේ.
නිරෝධායනය වන ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායමේ සිටින ශ්‍රී ලංකාවේ වත්මන් මීටර 400 ධාවන ශූරයා වන කාලිංග කුමාරගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන්කර තිබුණේ ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රිඩා කිරීම පිළිබඳ තමා කණගාටු වන බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙනේ අද දෙරණ දහවල් ප්‍රධාන පුවත් විකාශයෙන් අනාවරණය කිරීමට අප කටයුතු කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අප ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙම ක්‍රීඩකයන් නැවැත්වීම සඳහා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ලබාදීමට මීට පෙර කැමැත්ත පළකර තිබූ බවත් ක්‍රීඩකයින් දිවයින පැමිණීමෙන් පසු එම තීරණය වෙනස් කරමින් අකුරැස්ස අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන ගියේ කාගේ උවමනාවක් මතද යන්න ගැටලුවක් බවත් ය.
එමෙන්ම හැකි ඉක්මනින් අකුරැස්සේ සිට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටොරින්ටන් හි පිහිටි නේවාසිකාගාරය වෙත ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එංගලන්තයේ තරග සංචාරයකට ගොස් විනය කඩකර ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයින් සුඛෝපභෝගි ලෙස පුද්ගලික හෝටල්වල නිරෝධායනයට යොමු කරද්දි අවම පහසුකම් යටතේ ගොස් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආ මලල ක්‍රීඩක ක්‍රිඩිකාවන් කිසිදු දැනුම් දීමකින් තොරව නිරෝධායනයට සඳහා අවදානම් ස්ථානයක් කරා රැගෙනගියේ කාගේ වුවමනාවක් මතද යන්න ගැන බලධාරීන් පිළිතුරු දිය යුතු නොවේද?
