එන්නත්කරණය රෝහල් හරහා කිරීමට යෝජනාවක්
June 26, 2021 10:16 am
එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී මේ කරුණු අනාවරණය වී තිබේ.
මේ අතර කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළවී තිබෙන බවද රැස්වීමේදී අනාවරණය වී තිබේ.
එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දී ඇත.
ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වන බවද ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ අතර ලබන මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනොෆාම්, සිනොවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව තිබේ.
