කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය සිව්වන දිනට ඇරඹේ
April 22, 2021 09:53 am
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (22) සිව්වන දිනටත් ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.
පෙත්සම් විභාගය ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පනත් කෙටුම්පතේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති දැනුම් දුන්නේය.
ඒ අතර යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.
අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින් යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළේය.
අදාළ කොමිසම සඳහා සාමාජිකයන් පස් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර සාමාජිකයන් හත් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් සිව් දෙනෙකු ලාංකිකයින් වනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අවධාරනය කළේය.
එම ව්‍යාපෘතිය හරහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට උපකාරී වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව පැවසීය.
පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වේ.
