මන්ත්‍රී අශෝක් ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
March 11, 2021 08:07 pm
සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන්නේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මන්ත්‍රිවරයා කළ එම ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදි පිළිගෙන ඇති බවය.
පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
පසුව අදාළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දන්වා තිබුණ ද එම අවස්ථා දෙකේදීම මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැත.
නමුත් එම ප්‍රකාශය පිළිබදව කරුණු පැහැදිලි කිරීමට අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අද පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඒ මහතා සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂය නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණ සිටිනු ලක්නට ලැබිණි.
පැය 05 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අබේසිංහ මහතා ප්‍රකාශයක් දී තිබුණි.
