බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරිය හැකියි - වෛද්‍ය පර්යේෂකයින් කියයි
February 12, 2021 08:38 pm
මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති, බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදය ව්‍යප්තවීම සාමාන්‍ය වෛරසයට වඩා සියයට පනහකින් ප්‍රබල බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් එම ප්‍රභේදය හඳුනාගෙන තිබුණි.
ශ්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ සිදුකළ පරීක්ෂණ වලදී ඒ, කොවිඩ් ප්‍රභේද හදුනාගැනීමට හැකිවිය.
PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හදුනාගත් පුද්ගලයින්ගෙන් හා කොවිඩ් පොකුරු හමුවූ ප්‍රදේශවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව ලබාගත් ජෛව සාම්පල 92 ක් ඇසුරින් එම පරීක්ෂණ සිදුකර තිබුණි.
මෙම නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගෙන ඇත්තේ, ජනවාරි මස සිටය.
"වඩා වැදගත්ම සොයා ගැනීම වුණේ B.1.1.7 කියන ප්‍රභේදයට අදාළව 92කින් 13ක් විතර හමුවෙලා තියෙනවා. පෙබරවාරි මැද හමුවූ සාම්පල තාම පරීක්ෂණ කරගෙන යනවා. කොහොමද දිවයින පුරා පැතිරගියේ කියන එක අපි අධ්‍යනය කරලා නෑ. එකක් තමයි ලංකාව තුළ මේ ප්‍රභේදය නිර්මාණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එංගලනතයට ඒක ආපු විදිහ තාම අධ්‍යයනය කරලා සොයාගෙන නෑ," යනුවෙන් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
මේ වන විට රටවල් 50කට වැඩි ගණනක පැතිර ගොස් ඇති එම නව ප්‍රභේදය ඉදිරියේදී ලොව පුරා මහත් ව්‍යවසනයක් ඇතිකරමින් ව්‍යාප්ත වනු ඇති බවට බ්‍රිතාන්‍යය විශේෂඥයින් ද අනතුරු අඟවා තිබේ.
එක්සත් රාජධානියේ ජාන නිරීක්ෂණ වැඩසටහනේ ප්‍රධානි මහාචාර්ය ෂැරොන් පීකොක් පෙන්වා දෙන්නේ, එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයාගත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව දරුණුතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බවය.
කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ යැයි පෙනී යන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මේ වනවිට එක්සත් රාජධානිය තුළ භාවිත කරනු ලබන්නේ, ඇස්ට්‍රා සෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් ය.
