බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ්

බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ්

December 5, 2020   06:37 pm

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුගිය මස 25 වනදා අවසන් වරට පාසලට පැමිණ තිබුණි.

නිවසේ රැඳී සිටියදී රෝගීවී කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ හේතුවෙන් එම සිසුවියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාසල් සිසුවියන් සහ ගුරුවරුන් ඇතුළු 51 දෙනෙකු නිරෝධායනට යොමුකිරීමට පියවරගත් බව බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී නවරත්න මහතා පැවසීය.

"මේ වනවිට පාසල සඳුදා දිනයේ විවෘත කිරීමට අවශ්‍ය වටපිටාව සූදානම් කරමින් තිබෙනවා. විෂබීජහරණය කරලා ඒ කටයුතු කෙරෙමින් පවතිනවා. ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 51 දෙනාගේ PCR පරීක්ෂණයේ කටයුතු සිදුකිරීමටත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ, " යනුවෙන් ද බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී නවරත්න මහතා සඳහන් කළේය.