ප්‍රථම කොවිඩ් එන්නත අමෙරිකාවෙන් ද ? චීනයෙන් ද ?
සයුරෙන් එතෙර

ප්‍රථම කොවිඩ් එන්නත අමෙරිකාවෙන් ද ? චීනයෙන් ද ?

November 10, 2020   11:40 am

චීනය විසින් නිපදවා ඇති සාර්ථක වේ යැයි බලාපොරොත්තු සහගත ව සිටි කොවිඩ් එන්නතක අත්හදාබැලීම් නවතා දැමීමට බ්‍රසීලය තීරණය කර තිබේ.

ඒ එම එන්නත ලබාදුන් පසු වාර්තා වූ බරපතළ අහිතකර සිදුවීමක් හේතුවෙනි.

බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමනය සිදුකරන අන්විසා නම් ආයතනය පැවසුවේ එම සිද්ධිය ඔක්තෝබර් 29 වාර්තා වූ බවය.
 
සිනොවැක් නම් එම එන්නත දැනට අවසාන අදියරේ අත්හදාබැලෙන එන්නත් කිහිපයෙන් එකකි.
 
නමුත් චීනය දැනටමත් මෙම එන්නත එරට ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා භාවිත කරයි. ඒ, හදිසි අවශ්‍යතාවයක් ලෙසිනි.

බ්‍රසීල තීරණය ගැන සිනොවැක් එන්නත නිපදවන සිනොවැක් බයෝටෙක් සමාගම මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මෙම තොරතුරු වාර්තා වූයේ, අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම කොවිඩ් එන්නතක් ගැන සුවිශේෂී හෙළිදරව්වක් කිරීමත් සමග ය. එම සමාගම පැවසුවේ ඔවුන් නිපදවූ කොවිඩ් එන්නත 90%ක් පමණ සාර්ථකත්වයක් පෙන්වන බවය.

ඒ සමගම ලොව පුරා විශාල ජනතාවක් පීඩා විඳින මෙම කොරෝනා වසංගතය නිමාකර ගත හැකිවෙතැයි බලාපොරොත්තු ඇතිවී තිබේ.

සිනොවැක් සහ ෆයිසර් එන්නත් දෙකම මේ වනවිට නියාමක අනුමැතිය හිමිවීමට පෙර සිදුකළ යුතු තෙවැනි අදියරේ අත්හදාබැලීම් සඳහා ලක්කෙරෙමින් පවතී.