ජනතා බලාපොරොත්තු ඉටු කරන්න ජනපතිට සංඝරත්නයේ සහය

ජනතා බලාපොරොත්තු ඉටු කරන්න ජනපතිට සංඝරත්නයේ සහය

January 27, 2020   07:46 pm

රටේ සදාචාරය ආරක්ෂා කරමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට මහා සංඝරත්නයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් අවධාරණය කරයි.

උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවකදී මේ අදහස් පළ කෙරුණි.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙතගිය ජනාධිපතිවරයා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි මේ බව පැවසීය.

“මේ වෙලාවට පැමිණෙයි කියලා මම හීනයකින්වත් හිතුවේ නැහැ. පැමිණෙන්නට බලකරලා මම
ආරාධනාවක් කළෙත් නැහැ. 

දහසක් කාර්යභාරයක් හිතේ තබාගෙන මේ අවස්ථාවට සහභාගිවීම මා බොහෝම අගය කොට සළකනවා. ඒක අපිට කළ විශාල සැලකිල්ලක්. 

රටේ පවතින මේ අපරාධ නවත්තලා සදාචාරයට ඔබතුමා අතගැසිය යුතුව තිබෙනවා. මහා සංඝයා වශයෙන් බෞද්ධ ජනතාව වශයෙන් අපේ රටේ අන්‍යාගමික පූජකයින් අද ඉන්නවා. 

උන්වහන්සේලා සියලුදෙනා ඔබතුමාට සම්පූර්ණයෙන් ඒ සඳහා ආශිර්වාද කිරීමට අතහිත දීමට සූදානමින්. ඔබතුමා සාදාචාරය වර්ධනය කරනවාත් එක්කම නිතැතින්ම සාමය ඇතිවෙනවා.

මේ රටේ 30 අවුරුද්දක යුද්ධයක් තිබුණා. ඔබතුමන්ලා එකතුවෙලා ඒ දැරූ අපරිමිත ධෛර්යේ ප්‍රතිඵල සඳහා තමයි රටවැසියා කෙළෙහිගුණයක් වශයෙන් අපේ ගරුතර මහා සංඝයාවහන්සේ අපි දන්නවා අන්‍ය ආගමික ලබ්ධික උතුමන්වහන්සේලා තදින්ම ඔබතුමාට පිහිටවුණා. 

බලාපොරොත්තුවුණාට වඩා ප්‍රතිඵල සහිතව රටේ නායකත්වය ලබාදුන්නේ ඔන්න ඔය කෘතෝපාකාරයට මීළඟට ඇති මැතිවරණයේදී ජනතාව ඒ තත්ත්වයේම තබාගෙන ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවෙන බවට අඟවලා ඉදිරි පස්වසර තුළ රටේ සාමය, සමෘද්ධිය ඇති කිරිමට සියලුම දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබේවා.“