RFID ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

RFID ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

January 9, 2020   03:50 pm

මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව විසින් වසර දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක නොකර තිබෙන RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්හට උපදෙස් දුන්නේය.

ඊයේ(08) පස්වරුවේ ප්‍රවාහණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා නිලධධාරින් ගෙන් RFID (Radio Frequency Identification) ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කරුණු විමසා සිටියේය.

එහිදී නිලධාරින් කියා සිටියේ මේ වනවිට එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා මූලික කටයුතු අවසන් කර ඇතත්, සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික කරුණු කිහිපයක් බලපාන ලද බවයි.

RFID (Radio Frequency Identification) හෙවත් ගුවන්විදුලි සංඛ්‍යාත මගින් වාහනයක් හඳුනාගැනීම මගින් දැනට අප රටේ නාගරිකව පවතින වාහන තදබදය අවම කරලීමටත්, වාහන වේගය පාලනය මෙන්ම ආරක්ෂක හේතුන් ආදි කරුණු ගණනාවක් සඳහා ඉවහල් වේ. 

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම වාහනයකම ඉදිරිපස RFID (Radio Frequency Identification) ටැග් එකක් හෙවත් ස්ටිකරයක් සවි කිරීම සිදුවේ.