කිතුලේ පැණි රස ජීවිතවල නැති මිනිසුන්

කිතුලේ පැණි රස ජීවිතවල නැති මිනිසුන්

January 8, 2020   03:36 pm

කිතුල් ආශ්‍රීත නිශ්පාදන කරුවන් සිය නිෂ්පාදනයන් කර ගැනීමට නොහැකිව ගැටලු රැසකට මුහුණ පා ඇති බව අද දෙරණට වාර්තා විය.

මාතලේ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන අතර එයින් මාතලේ ,මාතලාපිටිය, යටවත්ත , ලග්ගල, රත්තොට , උකුවෙල , පල්ලේපොල, රුසිගම, ආදී ප්‍රදේශ වල විශාල වශයෙන් කිතුල් හකුරු කිතුල් පැණි නිශ්පාදනය සිදුකරති.

මාතලාපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් කිතුල් ගසෙන් ජීවත් වන බව වාර්තා විය .

එක් කණ්ඩායමක් කිතුල් මළ උපයෝගීකරගෙන තෙලිජ්ජ නිපදවා ඒවා උණුකොට පැණි බවට පත්කරමින් තවත් පිරිසකට අලෙවි කිරීම සිදු කරයි.

එම කණ්ඩායම කිතුල් පැණි උපයෝගී කරගෙන හකුරු නිෂ්පාදනය කොට වෙළඳපලට ලබාදීම ඔවුන් සිදු කර ජීවිතය සරිකර ගනියි.

මෙම කර්මාන්තයේ නිරත වන බොහෝ දෙනෙකුට ඇති බරපතළම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ පොලිසියෙන් සිදුකෙරෙන  ක්‍රියාකාරකම්.

හකුරු නිෂ්පාදනය කරන ස්ථාන සංවර්ධනය කර ගැනීමට ඉඩ හසර ඉඩ පහසුකම් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යෑමට නොහැකි වීම, කිතුල් පැණි මිලදී ගෙන ගබඩා කරගැනීමේ නොහැකියාව , දුර බැහැර ප්‍රදේශවලට ගොස් අලෙවි කිරීමේදී ප්‍රවාහන අපහසුතා මෙම කර්මාන්තයට කිසිදු අයකු ගේ අවධානයක් යොමු නොවීම ආදී කරුණු නිසා කර්මාන්තය නිසියාකාරව සිදු කරගෙන යෑමට නොහැකි විය.

තෙලිජ්ජ නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවන් කියා සිටින්නේ තමන් ගස් මැද රැගෙන එන මුට්ටිවල  බැරිවෙලාවත් සුදු පැහැති වී තිබුණු ගමන් පොලිසියෙන් පැමිණ තෙලිජ්ජ වෙනුවට රා මන්ඩි බව පෙන්වා අධිකරණයට හමුවට පමුණුවා විශාල දඩ මුදල් අය කරන බවයි.

 එම නිසාම බොහෝ කිතුල් ගස් කර්මාන්තකරුවන් විසින් කපා විනාශ කර දැමූ බව ද ඔවුන් පවසයි. 

රුපියල් 5000ක සහ රුපියල් 10000ක දඩ ගැසීම නිසා කිතුල් කර්මාන්තය කෙරෙහි කලකිරි ඇති බව ඔවුන් ප්‍රකාශ කළේය.

එමෙන්ම කිතුල් ගස මැදීම සඳහා නගින අවස්ථාවන්හි දී ආරක්ෂිත හිස් වැසුම් ආරක්ෂිත බඳ පටි කිසිවක් නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

කිතුල් පැණි දින පහකට හයකට පමණ කාලයක් තබා ගැනීමට හැකි බවත් එහෙත් කල් තබා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව විද්‍යාත්මකව දැනුම ලබා දෙන්නේ නම් ප්‍රමාණවත් බව ඔවුහු කියති.

එමෙන්ම ඇතැම් කිතුල් හකුරු නිෂ්පාදන කරන පවුල්වල බොහෝ දෙනා එකට පවුලේ කණ්ඩායම ජීවත්වන බවත් ඔවුන්ගේ ජීවනෝපාය හකුරු කර්මාන්තය පාරම්පරිකව සිදුකරගෙන එන බව ඔවුන් පෙන්වා දෙයි.

එම නිසා මෙම හකුරු කර්මාන්තය සංවර්ධනය කර ගැනීම වැඩිදියුණු කරගැනීම වෘත්තියක් ලෙස පවත්වාගෙන යෑම සඳහා රජයේ බලධාරීන් විසින් අවධානය යොමු කොට සහයෝගය ලබා දෙන්නේ නම් මීට වඩා වැඩි නිෂ්පාදනයක් සිදු කර සිදුකිරීමට හැකි බව කිතුල්  කර්මාන්තකරුවෝ පවසති.