රාජිතගේ දිවුරුම් ප්‍රකාශය සංශෝධනය කර නැවත අධිකරණයට

රාජිතගේ දිවුරුම් ප්‍රකාශය සංශෝධනය කර නැවත අධිකරණයට

December 23, 2019   11:39 am

සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  ඉදිරිපත් කළ අයදුම්පත අද(23) සලකා බැලෙයි.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයී.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

මෙවැනි පසුබිමක එම මාධ්‍ය හමුවට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් ඊට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන් මුදාහරින්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ නමුත් ඉකුත් 20 වැනිදා එම අයදුම්පත අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එහිදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කරන කරුණුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ නොදත් තම සේවාදායකයා, දේශපාලන තීන්දුවකට අනුව ඔවුන් දෙදෙනාව මාධ්‍ය හමුවකට ගෙන ආ බවයි.

ඔවුන් මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශවල වගකීම සැකකරුවන් විසින් භාරගත යුතු නමුත් එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එල්ල කර ඇති චෝදනාවලට අදාළවම වෙනත් දේශපාලන හේතුන් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ සාධාරණ බියක් ඇතිවී ඇතැයි ජනාධිපති නීතීඥවරයා එදින ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අපේක්ෂිත ඇප අයදුම්පත පරික්ෂා කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එදින ප්‍රකාශ කළේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් වන්නේ නිශ්චිතවම කුමන චෝදනාව යටතේ තමා අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීමට ද යන්න පැහැදිළිව සහ නිශ්චිතව අධිකරණයට දැනුම්දිම අනිවාර්ය වන බවයි.

එසේ නිශ්චිතව වගන්ති සහිතව ඇප අයැදුම ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇප ප්‍රදානය කළහොත් එය යම් විටෙක වෙනත් වරදකට අත්අඩංගුවට ගත් අවස්ථාවක පවා නෛතික ආවරණයක් වන බව  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත සළකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් එදින පස්වරුවේම රාජිත සේනාරත්න මහතා දෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය.

එය අද සලකා බැලීමට නියමිත අතර අදාළ අයදුම්පත සමග ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් පියවර ගෙන තිබේ.