හිස්බුල්ලා අනුරාධපුරයට ආවා කිරි හැළියට ගොම දාන්න-වෛද්‍ය වසන්ත බණ්ඩාර
November 19, 2019 07:00 pm
සුළු ජාතීන්ගේ සහාය නොමැතිව නායකයන් පත්කළ නොහැකි බවට බෙදුම්වාදි දේශපාලන නායකයින් ස්ථාපිත කර තිබූ මතය මෙවර ජනාධිපතිවරණයේදී සුන් වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
මේ පිළිබඳ සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ විය.
මෙහිදී අදහස් දැක්වු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ, ඉතා පැහැදිලි ලෙසම සිංහල බහුතර ඡන්දයෙන් තේරී පත්වු බව ගෝඨාභය මහතා ඉතා පැහැදිලි ලෙස පැවසු බවයි.
සුළු ජාතීන්ගේ සහය නොමැතිව රජයක් ගෙන යන්න බැහැ කියන මතය ඒ තුළින් බෙදුම්වාදී දේශපාලනඥයින් වාසියක් අත් කර ගැනීමට උත්සහ ගත් බවත් පැවසීය.
ඔවුන්ගේ කොන්දේසිවල ප්‍රධානතම කරුණ වන්නේ ඒකීය රට ෆෙඩරල් කිරිම බවද සඳහන් කර සිටි ඒ මහතා, ඒ කොන්දේසි පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වු බවත් කියා සිටියේය.
එනිසා රට ෆෙඩරල් කරන සංකල්පය සම්පූර්ණයෙන් අහෝසි විය යුතු යැයි ද පෙන්වා දුන් සරත් වීරසේකර මහතා, මෙය ජනමත විචාරණයක් ලෙස සලකන බවත් පැවසීය.
මින් මතුවට රට ෆෙඩරල් කිරීමට හෝ බෙදීමට කතා කරන සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වු දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ වන්නි දිස්ත්‍රික්කයේ සියයට 5ක් ගෝඨාභය මහතාට ඡන්දය ලබා දී ඇති බවයි.
යාපනයේ ද සියයට 6ක් ඡන්දය ඒ මහතාට ලබා දී ඇතැයි පැවසු වසන්ත බණ්ඩාර මහතා, ජනතා විමුක්ති පෙරමුණට මුළු රටෙන්ම හිමිව ඇත්තේ සියයට 3 ක් පමණක් යනුවෙන් ද පැවසීය.
ඒ සියයට 6 යනු ප්‍රබල ලෙසම බෙදුම්වාදයට හා ජාතිවාදයට විරුද්ධ මිනිස්සු බවද පැවසු ඒ මහතා, ජනවරම ගෝඨාභය මහතාට ලබා දුන්නේ, පරාජිතයින් සමඟ එකතු වීමට නොවන බවත් සඳහන් කළේය.
මේ මොහොතේ ජාතික ආණ්ඩු පිළිබඳ සාකච්ඡා අවශ්‍ය නැති බවත්, නැවත මැතිවරණයකට යාමේ යෝජනාව රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ යෝජනාවත් බවත් එය ද හෙළා දකින බව වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඔවුන්ට FCID යෑම වළක්වන්න හා රිෂාඩ්, හකීම්ගෙන් කට උත්තර ගැනීම වළක්වා ගනිමින් නැවත දේශපාලනයට එන්න ඡන්දය අවශ්‍ය යැයි ද පැවසු ඒ මහතා, ජනතාවට ඡන්දයක් අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.
ජනතාව ජනමතය ලබා දී අවසන් බවත් ඊළඟ ඡන්ද විමසීම අදාළ කාලයේදී සිදු කළ හැකි බවත් සඳහන් කර සිටි ඒ මහතා, ගෝඨාභය මහතා දිවුරුම් දුන් මොහොතේ සිට කැබිනට්ටුව අහෝසියි යනු න්‍යායාත්මක කරුණක් බවත් පැවසීය.
නව අගමැතිවරයෙක් පත්කරන්න බාධාවක් නොමැති බවත්, කැබිනට්ටුව, අගමැති පත්කර ආණ්ඩුව කරන්න එවිට බාධාවක් නොමැති බවත් කියා සිටි ඒ මහතා, ජනපතිට අගමැති පත්කරන්න 113 ක් අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.
හිස්බුල්ලා මහතා අනුරාධපුරයට පැමිණ කිරි හැලියට ගොම දැමු බවත් පැවසු ඒ මහතා, ඩිලාන් පෙරේරා ඔහුව නැවත හරවා යැවු බවද සඳහන් කර සිටියේය.
අනෙක් ඇමතිවරුත් ඒ විදිහට කටයුතු කරන්නේ නම් මේ කිරි හැළියට ගොම දාන්න එන අයව දුරස් කර තබා ගත හැකි බවත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසා සිටියේ, විවිධ පැතිවලට අඳින්නේ නැතුව ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසයි.
අද යාපනයේ බෝම්බ පිපිරෙන්නේ නැති බවත් සිංහල නායකයා ගැන උතුරේ ජනතාව විශ්වාසය තබා ඇති බවත් කොළඹ සංවර්දනය කළ අයුරින්ම උතුරු නැගෙනහිරත් ඔහු සංවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ගෝඨාභය මහතාගේ ඒ දැක්ම සමඟ රට ඉදිරියට රැගෙන යමු යනුවෙන් ද ඒ මහතා මෙහිදී පැවසීය.
විද්වත් වෘත්තිකයන්ගේ සන්ධානයේ කැඳවුම්කරු නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසා සිටියේ, දෙමළ ජාතික සන්ධානයට හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තමාගේ ජාතිවාදී හැඟීම් මත නායකයින් පත් කිරීමේ හැකියාව ඔවුන් සතු බව පවසා කේවල කිරිමේ හැකියාව මින් මතු ඔවුන් සතු නොවන බවයි.
නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, මෙම පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය උපාසක ලීලාවක් ප්‍රකාශ කරමින් සිටින බවයි.
මහ මැතිවරණය වෙන විට ඔවුන් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සහ කරන බවත්, නම්බු පිටින් අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී ගෙදර යන්න යනුවෙන් ඒ මහතා මෙහිදී පැවසීය.