ගෝඨාභයගේ ඉතිහාසය
November 17, 2019 07:29 pm
ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ අද දෙරණ තබන සටහනක්.
ගෝඨාභය රාජපක්ෂ නාමය පිළිබඳව මෙරට ජනතාව අතර කතාබහක් නිර්මාණයවූයේ ඔහුව ඉලක්ක කරමින් එදා 2006 දෙසැම්බර් පළමුවැනිදා කොළඹ පිත්තල හන්දියේ සිදු වූ මේ බෝම්බ පිපිරීමෙන් පසුවයි.
එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමෙහිලා ඉවහල් වූ ප්‍රධාන සාධකයක්.
'අපි වෙනුවෙන් අපි' ව්‍යාපෘතිය වැනි නව සංකල්පද ක්‍රියාවට නංවා ත්‍රිවිධ හමුදාව අභිප්‍රේරණය කරමින් නිසි නායකත්වයක් සැලසීම නිසා ඔහු බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිසිසුවකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේ 1971 අප්‍රේල් 26 වැනිදා කැඩෙට් නිලධාරියකු ලෙස ලංකා හමුදා සේවයට එක්වෙමින්.
උතුරේ මෙහෙයුම් රැසකට සක්‍රිය දායකත්වය ලබාදෙමින් හමුදා සේවයේ පෑ දස්කම් වෙනුවෙන් රණවික්‍රම සහ රණශූර පදක්කම් දිනූ ඒ මහතා කොතලාවල ආරක්ෂක පීඨයේ ආඥාපතිවරයකු ලෙසද කටයුතු කර තිබේ.
තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා සේවයෙන් ඉවත් වූ පසුව කලක් විදෙස්ගතව සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ පසු 2005 වසරේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාරගත්තේය.
මාවිල්ආරු මානුෂිය මෙහෙයුමෙන් ඇරඹි සිව්වන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සේනාධිනායකයා අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනගමින් ඔහු සිය වගකීම ඉටුකළ ආකාරය ප්‍රශංසනීයයි.
එකල ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊ හිතවාදීන් ශ්‍රී ලංකාවට හා මෙරට හමුදාවන්ට එරෙහිව විවිධ චෝදනා නගද්දී ඒවාට නොබියව ප්‍රතිචාර දැක්වීමට තරම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්භීත විය.
යුද්ධය නිමාකිරීම සඳහා මෙලෙස සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සිදු කළ කාර්යභාරය නිසාම කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියකින්ද පිදුම්ලැබුවේය.
එසේම හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 13,000 ක් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහා ඔහු දියත් කළ වැඩපිළිවෙළ ජාත්‍යන්තරවත් ප්‍රශංසාවට ලක් විය.
නාගරික සංවර්ධන විෂය ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පැවරුණේ 2009 වසරේදීයි.
බත්තරමුල්ල සුහුරුපාය පරිපාලන සංකීර්ණය , වේරහැර ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල , පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය , නාරාහෙන්පිට නව ආරක්ෂක හමුදා රෝහල , කොළඹ තුරගතරග පිටිය ආශ්‍රිත ප්‍රෙද්ශය නවීකරණය , කොළඹ ආර්කේඩ් පරිශ්‍රය නවීකරණය , කොළඹ හා ගාල්ල පැරණී ඕලන්ද රෝහල් සංකීර්ණ ප්‍රතිසංස්කරණය , බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය ,පිටකොටුව පාවෙන වෙළෙඳ සැල , ගාලු පාර සංවර්ධන ව්‍යාපෘතිය , බෝගම්බර බන්ධනාගාර සංවර්ධන ව්‍යාපෘතිය , නව නිවාස ව්‍යාපෘති ආදී ඔහු දියත් කළ ව්‍යාපෘති මෙරට නගර සංවර්ධනයේ නව මාවත් විවර කළේය.
එමෙන්ම දූරදර්ශී තීන්දුවක් ගනිමින් ත්‍රිවිධ හමුදාවට විශාල අඩුවක්ව පැවති ත්‍රිවිධහමුදා මූලස්ථානයක් පැලවත්ත අකුරෙගොඩ ප්‍රෙද්ශයේ ස්ථාපිතකිරීම සඳහා මුල් පියවර තැබුණේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුවයි.
යහපාලන ආණ්ඩු සමයේ ඇති වූ විවිධ ආර්ථික සහ සාමාජයිය අකටයුතුකම් විවේචනය කරමින් නව මාවතක් සඳහා මං විවර කිරීමට 2016 වසරේදී වියත්මඟ නම් වෘත්තියවේදී සංවිධානය පිහිටුවනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මතයි.
ඒ මහතාව ඉකුත් අගෝස්තු 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂකයා ලෙසින් න්ම කරනු ලැබුවේය.
විවිධ අසත්‍ය ප්‍රචාර හරහා ඇතැම් පාර්ශ්ව ඔහුව ජනාධිපතිවරණ සටනට ඒම වැළැක්වීමට උත්සාහ කළද එම ප්‍රයත්නයන් අසාර්ථක වූ අතර ජනාධිපතිවරණ සටනින් ඔහුව ඉවත්කිරීම සඳහාද විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවාහැරුණේය.
එහෙත් මඩ දේශපාලනයෙන් ඉවත්ව සිය ප්‍රතිපත්ති ගැන පමණක් ජනතාව සමඟ සංවාද කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි මෙරට බහුතර ශ්‍රී ලාංකික ජනයා ඊයේ (16) විශ්වාසය පළ කළේ බහුතර ජයක් ඔහු වෙත හිමි කර දෙමින්.
ශ්‍රී ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා වෙමින් ඉදිරි පස් වසර සඳහා මව්දෙරණේ අනාගතය භාරගන්නා ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දෙරණ සුබාශිංසන පිරිනමනවා !