බදු වැඩි කරන්න අත උස්සපු කෙනා විශ්වාසද?-විපක්ෂ නායක

බදු වැඩි කරන්න අත උස්සපු කෙනා විශ්වාසද?-විපක්ෂ නායක

November 2, 2019   09:58 pm

ජනතාව මත බදු බර පටවන විට ඒවාට සහය පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී ජනතාවට සහන ලබා දෙන බව පැවසීම විශ්වාස කළ හැකිදැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මාතලේ අද (02) පැවති ජන හමුවකදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ආසන සංවිධායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සංවිධාන කළ ජන හමුවක් අද පෙරවරුවේදී පැවැත්වුණේ මාතලේ නාලන්දා ක්‍රීඩාංගණයේදීයි.

ජන හමුව පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,
" මේ ප්‍රධාන කපුවාගේ ගෙදර තමයි ජනපතිව මුලින්ම හමුවුණේ, ඔන්න අද හෙළි කරනවා.

අද අපි දෙගොල්ලෝ එකතුවෙලා, චන්ද්‍රකා නිදහස් පක්ෂය සුරකින්න හදනවා, එයා අලුත් පක්ෂ හදනකොට අපි තමයි සුරකුවේ, ඒක මතක තියාගන්න ඕන චන්ද්‍රිකා.

මගේ කාලේ මන්ත්‍රීවරු 127ක් පාර්ලිමේන්තුවේ, ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණම යුගය.

දැනුත් වෛරයකින් වැඩ කරනවා, චන්ද්‍රිකා බුද්ධිමත්ව කටයුතු කරන්න.

ගුවන් තොටුපළ වී ගබඩාවක් කළා, දැන් තව එකක් යාපනයේ හදලා
වී ටික යාපනයට යවන්න පුළුවන්.

ඒක වැවක් වගෙයි, සී ප්ලේන් බස්සන්න හදලා, පිළිවෙලක් නැතුව විවෘත කරනවා.

රනිල් අගමැති කියලා එයාම කියනවා, අපේක්ෂකයා තවම කියන්නේ නැහැ.

වරාය විකුණද්දි සජිත් කතා කළේ නැහැ, බදු වැඩි කරද්දි කතා කළේ නැහැ, බදු වැඩි කරන්න අය වැයට අත ඉස්සුවා, බදු බර වැඩි කරන්න අත උස්සපු කෙනා අද කියනවා අඩු කරනවාලු.

විශ්වාස කරන්න පුළුවන්ද?."

ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා මාතලේ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව හමු විය.