අගමැති ඉල්ලා අස්  වු පසුත් ලෙබනනයේ අඛණ්ඩව විරෝධතා
සයුරෙන් එතෙර

අගමැති ඉල්ලා අස්  වු පසුත් ලෙබනනයේ අඛණ්ඩව විරෝධතා

October 30, 2019   04:46 pm

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුවත් ලෙබනන් රාජ්‍යය පුරා තවමත් විරෝධතා පැවැත්වෙයි.

ඒ අඛණ්ඩව 13වැනි දිනටයි.

මහජන විරෝධතාවලට කන්දෙමින් ලෙබනන් අගමැති සාද් අල් හරීරි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත පසුගියදා බාර දී තිබුණි.

ෂියා මුස්ලිම් හිස්බුල්ලා හා අමාල් යන ව්‍යාපාරවල සහාය හිමිවූ මැර කල්ලි, රජයට එරෙහි විරෝධතාකරුවන්ගේ කඳවුරු වෙත ප්‍රහාර එල්ලකිරීමෙන් පසුව ජාතිය අමතා ප්‍රකාශයක් කළ අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම පිළිබද නිවේදනය කළේය.

ලෙබනන්හි බීරූට් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් ලෙබනන ජාතික ධජ ලෙලවමින්, සිය කදවුරට එල්ල වූ ප්‍රහාරයට දැඩි විරෝධය පළ ක‍ළේය.

මේ අවස්ථාවට බිළිඳුන් පවා රැගෙන විත් තිබීම විශේෂත්වයක්.

මෙහිදී විරෝධතාවලට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබූ බවට විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් වුණි.

දූෂණය, රාජ්‍ය පාලනයේදී අගමැතිවරයා දැක්වූ අසාර්ථක භූමිකාව සලකා ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ලෙබනන් රාජ්‍ය පුරා විරෝධතා ආරම්භ කෙරුණි.

දින 13ක් පැවැති විරෝධතාවලින් රටේ බොහෝ ක්ෂේත්‍රයන්හි කටයුතු අඩපණ වූ බවද සඳහන්.

රට මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා වන ශක්තිමත් නව රජයක් ගොඩනැගීමේ අරමුණින් තමන් ඉල්ලා අස්වූ බව අගමැති හරීරිගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වුණි.