මෙරට ගුරුවරුන්ගෙන් සියයට 10ක් ගුරු සේවයට නුසුදුසුයි-ජනපති
September 18, 2019 03:58 pm
වර්තමාන ගුරුවරයා, ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතුව ගොඩනැගීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූදහසක් පමණ වන ප්‍රමාණයෙන් 10ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමත්‍යාංශය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නොමැතිවීම ඊට හේතු වී තිබේන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද (18) පෙරවරුවේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු වයඹ පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමිනි.
උපාධිධාරිහු 1400ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්රදානය කිරීමමෙහිදී සිදුවිය.
ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව උපාධිධාරින් සියදෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරත් කියා සිටියේ ඉගැන්වීමෙන් පමණක් ගුරුවරයාගේ කාර්යභාරය නිම නොවන අතර, පාසල තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ වගකීම ද පන්ති භාර ගුරුවරයාට පැවරෙන බවයි.
එමෙන්ම දරුවන් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට පංතිකාමරයේ අභියෝගවලට ද සාර්ථකව මුහුණදිය හැකි අන්දමින් ගුරුවරයාගේ දැනුම ද යාවත්කාලීනවීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දයාසිරි ජයසේකර, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත්හිටපු ප්‍රධාන අමාත්‍යවරුන්වන ධර්මසිරි දසනායක, අතුල විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහිත නව කාර්යාල සංකීර්ණයට මුල් ගල් තැබීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිය.