මහ මඟ තනි වු මේ සිඟිත්තා කවුද?
September 17, 2019 04:44 pm
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ අතරමං කර සිටි දරුවකු පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා මහනුවර මූලස්ථාන පොලීසිය ජනතාවගේ සහාය පතන බව අද දෙරණ වාර්තාකරු පවසයි.
වයස අවුරුදු තුනක් පමණ වන මෙම කුඩා පිරිමි දරුවා අද(17) දිවා කාලයේ මැදිරිගිරිය බලා ධාවනය වීමට සූදානමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළ අතරමං කොට දමා ගොස් සිටි බව සඳහන් වෙයි.
එහිදී හඬමින් සිටි කුඩා දරුවා සම්බන්ධයෙන් අවධානය යොමු කළ තරුණයෙකු විසින් දරුවා මහනුවර මූලස්ථාන පොලීසිය වෙත ගෙනැවිත් භාර දීමට කටයුතු කර තිබේ.
තමාගේ නම සංඛ හෝ තනුක යනුවෙන් පවසන මේ කුඩා දරුවා තම සීයා සමඟ බස් රථයක පැමිණි බව පමණක් සඳහන් කරයි.
මහනුවර මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දරුවා මේ වන විට පොලිස් නිලධාරීන්ගේ ආදරය හා ආරක්ෂාව යටතේ සිටින ආකාරය ද අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් විය.
දරුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහනුවර පොලීසිය ඉල්ලීමක් කරයි.
