රවීට CIDය හමුවේ ප්‍රකාශයක් දෙන්න නියෝගයක්

රවීට CIDය හමුවේ ප්‍රකාශයක් දෙන්න නියෝගයක්

August 29, 2019   02:47 pm

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළව අද(29) දින සිට සති දෙකක් ඇතුළත රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රවී කරුණානායක මහතාට අද නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ජුලි මස 07 දා ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

ඉන් අනතුරුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස කරුණානායක මහතාට අවස්ථා කිහිපයක දී දැනුම් දීම සිදුකළ ද මෙතෙක් ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිට නොමැති බවද රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මේ නිසා පරීක්ෂණ කටයුතුවල යම් ප්‍රමාදයක් හටගෙන තිබෙන බව ඔහු අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ කරුණානායක මහතාගේ  අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පරීක්ෂණවල යම් ප්‍රමාදයක් ඇති වී තිබෙන බව පෙනී යන බවයි.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ පරීක්ෂණවලට සහාය පළ කිරීමේ අරමුණින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද දින සිට සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට නියෝග කළේය.

පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 21 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන්නේය.