බෝම්බ ගහපු අයත් එක්ක තේ බීපු අයත් දැන් හොයනවා-අගමැති

බෝම්බ ගහපු අයත් එක්ක තේ බීපු අයත් දැන් හොයනවා-අගමැති

August 15, 2019   06:08 pm

මහජන නියෝජිතයින්ට පවා නිසි ආරක්ෂාවක් හිමි නොවුණු රාජපක්ෂ පාලනයකට නැවතත් රට ගමන්කළ යුතුදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ යාපනයේ පැවති උත්සවයක් අමතමිනි.

යාපනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ශ්‍රී නාග විහාරය වැඳපුදා ගැනීමට ඊයේ පස්වරුවේ එක්වූ අතර අද පෙරවරුවේ නල්ලූර් කෝවිල වෙතද පැමිණියේය.

එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"යාපනයේ බිය සැක නැතුව අද මිනිස්සු ජීවත්වෙනවා. 

පොහොට්ටුවේ සම්මේලනයෙන් පස්සේ මම පුදුමවුණා, ඔවුන් කියනවා මිනිස්සු ජීවත්වෙන්න බයයි කියලා.
 
එදා හැමෝම හොඳට ජීවත්වුණා කියනවා.

මම පිළිගන්නවා අපේ කාලයේ තමයි බෝම්බ ටික පිපුරුණේ.

ඒත් කරපු හැම කෙනාම අපිට අල්ලගන්න පුළුවන් වුණා.

දැන් 200ක් විතර අත්අඩංගුවට අරන් තියෙනවා.

දැන් ඒ අය එක්ක තේ කෝප්ප බීපු අය පවා හොයාගෙන යන්නේ.
 
මම අහන්නේ ඒ කාලේ මොකක්ද වුණේ? රවිරාජ් මන්ත්‍රීතුමා පාරේ යද්දී මරලා දැම්මා.

කවුරුවත් අල්ලන්න බැරිවුණේ.

මහේෂ්වරන් මන්ත්‍රීතුමා කෝවිලේ වඳිනකොට අරගෙන ගියා.
කවුරුවත් අල්ලගන්න බැරිවුණා. ඔහු හිටියේ වරාය ළඟ.  කොළඹ හිටිය ඔක්කෝම LTTE අය අල්ලගත්තා කියනවා.

එහෙනම් ඇයි මේවා අල්ලගන්න බැරිවුණේ.

අද වෙනකම් කවුරුවත් අල්ලගන්න බැරිවුණා.

තමන්ට විරුද්ධ අය මැරෙනවා- පක්ෂ අය ජීවත් වෙනවා
එහෙම යුගයක්ද ඕනේ?

ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නොත් මහේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත්කරනවා කිව්වා.

ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. ආරක්ෂාව ඉවත් කළා පසුව මැරුණා

රවිරාජ් සිංහලෙන් කතා කරන එක අවාසියි කිව්වා එයත් මැරුණා.

තවමත් සාක්ෂි හොයාගන්න බැහැ.

රටේ මන්ත්‍රීවරුන්ට පාරේ යන්න බැරිනම් අපි කොහොමද ඉදිරියට යන්නේ?"

මෙහිදී යාපනය තිරුනන්වලි ප්‍රදේශයේ ඉදිකළ කෘෂි මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයක් ද අද පෙරවරුවේ පැවැත්වුණි.