ඇසල පුර පසලොස්වක පොහොය අදයි
July 16, 2019 07:00 am
ඇසල පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
බෝසත් චරිතය මෙන්ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් ලෙසයි සැලකෙයි.
තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහමායා දේවියගේ කුස පිළිසිදගැනීම අද වැනි පොහෝ දිනක සිදුව තිබේ.
එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙයි කල කිරී මහා අභිනිෂ්ක්රුමණය කිරීම ද ඇසළ පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකරනු ලැබුවේ ද ඇසල පුර පසලොස්වක පොහෝ දිනකදී යි.
බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව ද අද වැනි පොහෝ දිනක සිදුකර තිබේ.
භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කිරීම සිදුවන්නේ ඇසළ පුර පසලොස්වක පොහෝ දිනයේ බැවින් ථේරවාදී බෞද්ධ ජනතාවට මෙම පොහොය ඉතා වැදගත් පොහෝ දිනයක් වෙයි.
ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් එෆ්.එම්.දෙරණ 76 වන අසපුව පෝදා සජීවි වැඩසටහන අද(16) දිනයේ බැලුම්මහර, දෙකටන බවුන්සිත් මානසික සුව සෙවන භාවනා මධ්‍යස්ථානයේ සිට ගෙනඒමට සියලු කටයුතු සූදානම් කර තිබේ.