සිරි පා අඩවියේ මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

සිරි පා අඩවියේ මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට

May 23, 2019   11:12 am

ශ්‍රී පාද රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් හත්දෙනෙක් උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී පාද රක්ෂිතය තුල විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ  (22) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය ප්‍රකාශ කර ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසෝ වතුයායේ ප්‍රිඩ්ලන්ඩ් කොටසට ඉහළින් වු ශ්‍රී පාද රක්ෂිතය තුල මෙම අනවසර මැණික් ගැරීම සිදු කර ඇත.

එම රක්ෂිතය තුල කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ග හරස් කරමින් රක්ෂිතය තුල විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස කාලයක් තිස්සේ රක්ෂිතය තුල ඉතා සූක්ෂම ලෙස අනවසර මැණික් ගැරීමේ  නිරතව සිට ඇති බව පොලීසිය පැවසුවේය.

මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව පෙට්රොසෝ වතුයායේ පදිංචි කරුවන් බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.