ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක්-ගම්මන්පිල

ලංකාවේ ජනපතිවරණයට දැවැන්ත අවදානමක්-ගම්මන්පිල

April 6, 2019   06:55 pm

රජපක්ෂ රජයක් යළි බලයට පැමිණෙන බව අමෙරිකානු ආණ්ඩුවේ ප්‍රතිපත්ති සඳහා දැඩි ලෙස බලපෑම් කරන හෙරිටේජ් ෆවුන්ඩේෂන් බුද්ධි මණ්ඩලයේ නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(06) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, එමඟින් අමෙරිකාවට අවාසිදායක තත්ත්වයක් ඇතිවන්නේ නම් මෙරට ජන මතය විනාශ කිරීමට වුවද අමෙරිකාව සූදානමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

“ඇමරිකාවේ හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ඉතා බලගතු බුද්ධිමණ්ඩලය  පර්යේෂණ වාර්තාවක් ශ්‍රි ලංකාව ගැන  නිකුත් කරනවා 2019 මාර්තු මාසයේ. මේ වාර්තාවේ වැදගත් කම තේරුම් ගන්න නම් මෙම ආයතනය කුමක්ද කියන එක ගැන අපි නිවැරදිව තේරුම් ගන්න ඕනෑ.  

හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන්නේ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමට වඩාත් බලපාන බලගතු බුද්ධි මණ්ඩලයක්.  නැතිනම් තින්ක් ටෑන්ක් එකක්.  

රොනල්ඩ් රේගන් ජනාධිපති කාලයේ මේ ආයතනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට වඩාත්ම බලපෑම් කළ හැකි ආයතනය. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය සකස් කළ Global Think Tank Index අනුව හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආණ්ඩුවට බලපෑම් කිරීම අතින් ලොව 12 වන ස්ථානයේත් ඇමෙරිකාවේ පස්වන ස්ථානයේත් ඉන්නවා.

හෙරිටේජ් ෆවුන්ඩේෂන් හි ජෙෆ් ස්මිත් 2019 මාරතු 14 දින  Sri Lanka : A Test Case for the Free and Open Indo – Pacific Strategy නමින් පර්යේෂණ වාරතාවක් නිකුත් කරනවා.  ලංකාවේ උපාය මාරගික වැදගත්කමත් 2015 නව ආණ්ඩුව බලයට පැමිණීමේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණත් ඒ වාරතාවේ අඩංගු වෙනවා.

ඒ වාරතාවේ 14 පිටුවේ මෙහෙම සඳහන් වෙනවා.  රාජපක්ෂ සංධානය යළි බලයට එනවා. අවංකවම ඒ අය ලංකාවේ හරිම ජනප්‍රියයි.  ඇමෙරිකාව එක්තරා සීමාවකට ලංකාවේ ජනමතයට ගරු කරන්න සූදානම් විය යුතුයි.  

ඇමෙරිකාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා ද? ජනතාවගේ මතයට ගරු කරනවා ද? ඔව්.  නමුත් එක්තරා සීමාවකට විතරයි.  ඒ සීමාව තීරණය කරන්නේ ඇමෙරිකාවම තමයි.  

ජනාධිපතිවරණයක් කට ලඟ තබා ගෙන බලගතු ඇමෙරිකානු බුද්ධි මණ්ඩලයක් කියන කතාව සුළුවෙන් තකන්න එපා. ලංකාවේ ජනමතය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ ඇමෙරිකාව කැමති සීමාව දක්වා විතරයි.  

ඇමෙරිකාව කැමැති සීමාව කියන්නේ ඇමෙරිකාවට වාසි සීමාව. ඊට පස්සේ ලංකාවේ ජනමතය චප්ප කරලා ඇමෙරිකාවේ මතය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක නේද? 

ඒ නිසා ශ්‍රී ලංකාවේ ජනමතයට ගරු නොකිරීමට ඇමරිකාණු ආණ්ඩුවට ඒ රටේ බුද්ධි මණ්ඩලයක් උපදෙස් දෙනාවා කියන්නේ  ඉදිරි ජනපතිවරණයට දැවැන්ත අවදානමක් තිබෙනවා කියන එකයි.“