පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව එළියට-60 කට චෝදනා

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව එළියට-60 කට චෝදනා

February 22, 2019   06:46 pm

පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ කමිටුවේ  වාර්තාව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද(22) සභාගත කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කළේය.

එම කමිටුව විසින් ඒ  පිළිබඳ සිදුකළ විමර්ශනයෙන්  අනතුරුව සකස් කරන ලද කමිටු වාර්තාව අද මෙලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් සභාගත කළ අතර මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 22 වන වගන්තිය අනුව දඩුවම් ලැබිය යුතු වරද සිදුකර ඇති බවට එමඟින් නිර්දේශ කර තිබේ.

අදාළ දින තුන තුළ පාර්ලිමේන්තුවේ දී සිදුකර ඇති වරද සහ එම වරද සිදුකළ මන්ත්‍රීවරුන්ගේ නම් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.

එම නම් සඳහන් මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 54 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට සහය පළ කළ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එම පිරිස අතරට අයත්ය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝණය කළ බවට වැඩිම වාර ගණනක් නම සඳහන්ව ඇති මන්ත්‍රීවරුන් අතරට ප්‍රසන්න රණවීර, ආනන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පද්ම උදයශාන්ත, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරුන් අයත්ය.

පිහියක් වැනි යමක් රැගෙන ඒම,  කථානායකවරයාගේ මයික්‍රෆෝනය කැඩීම, කථානායක අසුනට ජලය දැමීම, කථානායකවරයාට තර්ජනය කිරීම යනාදිය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම, රංජන් රාමනායක,  ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කර තිබේ.

වාර්තාවේ නම් සඳහන් කර ඇති මන්ත්‍රීවරුන් 60 දෙනාට එරෙහිව නිසි පියවර ගත යුතු බවට කමිටුව නිර්දේශ කර ඇති අතර මේ පිළිබඳ පොලීසිය සිදුකරන ස්වාධීන විමර්ශණය කඩිනමින් අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ මාර්ගයකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය බව කමිටුවේ මතය වී තිබේ.