තවත් වසංගතයක් හිස ඔසවයි-කිරි හරකා මසට යයි

January 18, 2019   12:32 pm

මාතලේ දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක කිරි ගවයන් සඳහා මුඛ කුර රෝගය බරපතළ ලෙස ව්‍යාප්ත වීම නිසා කිරි ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි කිරි ගොවීහු පවසති.

මේ අතරින් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොහෝ ප්‍රදේශවල විශාල වශයෙන් කිරි හරක් සඳහා මෙම රෝගය පැතිර යමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ගොවීහු මෙම මුඛ හා කුර රෝගය නිසා තමන් පත්ව ඇති පීඩන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) දින පෙරවරුවේ ගොවිපලක දී පවත්වන්නට යෙදුනහ.

එම ප්‍රදේශයේ  කිරි ගවයන්ට වැළඳී ඇති මෙම රෝගය පිළිබඳව මාධ්‍යවේදීන්ට පෙන්වා දුන් ගොවීහු කියා සිටියේ මේ හේතුවෙන් තම ප්‍රදේශයේ කිරි කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන බවය.

කිරි ගවයන්ගේ දිවෙහි තුවාල සිදුව ආහාර නොගනිමින් සිටින බවද පසුව එම තුවාල ක්‍රම ක්‍රමයෙන් ගවයාගේ කුරවලට බෝවී නැවත කිරි බුරුළු වලට ද ව්‍යාප්ත වී යන බව ඔවුහු පෙන්වා දුන්හ.

ලොකු කුඩා සියලුම සතුන්ට සීඝ්‍රයෙන් මෙම රෝගය බෝවී තිබෙන ආකාරය ද නමුත් තම ප්‍රදේශයේ සිටින බටු හරකුන්ට මේ රෝගය වැළදෙන තත්වයක් නොදකින බව ද එහිදී පවසා ඇත.

ඔවුහු පෙන්වා දී සිටියේ රජයේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ එක සතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 800-900 අතර මුදලක් අය කරන බවත් එතරම් මුදලක් ලබා දී විශාල හරකුන් ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීමට නොහැකි තත්වයක් පවතින බව ගොවීහු මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළහ.

කිරි ලීටර් තිහක් ලබාගත් ගොවිපළවල කිරි ලීටර් 3 දක්වා සතුන්ගේ කිරි අඩු වී ඇති බවද ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.

එමෙන්ම එක සතෙකුගේ මිල රුපියල් ලක්ෂ එකහමාරක්, දෙකක් අතර ප්‍රමාණයක් වන බව පෙන්වාදෙන කිරි ගොවීන් රෝගය වැළඳුනු සතුන් මස් පිණිස ගැනීමට එක සතෙකු රුපියල් 50,000 මුදලකට මස් කඩ හිමිකරුවන් මිලදී ගැනීමට පැමිණෙන බව ද ඔවුන් කියා සිටියි. නමුත් බොහෝ ගොවීන් රෝග වැළඳුණු එම සතුන් මස් කඩවලට අලෙවි නොකරන බව සඳහන් කළහ. 

ඇතැම් ගොවීන් තම ගව පට්ටියේ සිටින පිරිමි සතුන් අලෙවි කොට ඉතිරි වී සිටින ගැහැණු සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා එම මුදල් වියදම් කොට ප්‍රතිකාර කරන බවද ඔවුහ සඳහන් කළේය.

ඉතා සීඝ්‍රයෙන් පැතිර යන මෙම ගවයන්ගේ කුර මුඛ රෝගය මීට පෙර තම ප්‍රදේශයේ නොතිබුණු බවත් මෙම රෝගය කිනම් කාරණයක් නිසා ව්‍යාප්ත වුණේ ද යන්න නොදන්නා බව ද ඔවුහු ප්‍රකාශ කර ඇත.

කිසියම් පෞද්ගලික සමාගමක් විසින් මෙම රෝගය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ඇති බවට ප්‍රදේශයේ කටකතාවක් පැතිර යන බවද කිරි ගොවීහු මාධ්‍ය හමුවේ දී පවසා ඇත.

තම ප්‍රදේශයේ මේ වන විට ගොවිපොළවල් වල තැන තැන සතුන් මැරී වැටෙන බවත් කිරි නොමැතිව කුඩා සතුන් මිය යන බවත් ඔවුහු පෙන්වා දෙති. 

මේ පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙස ද දඬුබැඳිරුප්ප කිරි ගොවීහු රජයෙන් ඉල්ලීමක් කර සිටිති.