යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයක ඉවතලන කිරි සහිත අපද්‍රව්‍ය මහවැලි ගඟට

January 12, 2019   05:34 pm

කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශයේ යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයේ ඉවතලන කිරි සහිත අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදා හැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසින් පවසයි.

බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික යෝගට් සහ චිස් නිෂ්පාදනාගාරයෙන් ප්‍රදේශයේ කිරි ගොවියන්ගෙන් සහ පෞද්ගිලක සත්ත්ව ගොවිපොලවල් වලින්  මිල දි ගන්නා දියර කිරි වලින් දිනපතා විශාල වශයෙන් යෝගට් සහ චිස් නිෂ්පාදනය කරන බව ප්‍රදේශවාසින් පැවසීය.

යෝගට් සහ චිස් නිෂ්පාදනය කිරිමේදි ඉන් ඉවත ලන කිරි සහිත අපද්‍ය කිසිදු පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් එම කර්මාන්ත ශලාවේ බලධාරින් විසින් සෘජුවම මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන කොත්මලාඔයට බෝගහවත්ත ප්‍රදේශයේ සිට කර්මාන්ත ශාලව අසලින් බෝගහවත්ත ඇළට දිනපතා මුදා හරින බව වාර්තා වේ.

බෝගහවත්ත ප්‍රදේශයේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු නිවාස ගණනාවක් පිහිටා ඇති අතර, මෙසේ අපද්‍රව්‍ය ඇළ මාර්ගයට මුදා හැරිම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම විශාල පරිසර හානියක් වන අතර එම ඇළ මාර්ගයේ විශාල පණුවන් බෝ වි තිබිම නිසා එම ඇළ මාර්ගයේ ජලය පරිහරණය කිරිමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.