චම්පිකගෙන් සහතිකයක්
December 21, 2018 04:05 pm
ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේ ජාත්‍යන්තර කළු පැල්ලමෙන් අඩපණවූ සංවර්ධන ව්‍යාපෘති කෙසේ හෝ පණගන්වන්නට කැපවෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද(21) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ රාජකාරී අරඹමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසීය.
“පසුගිය ඔක්තොම්බර් 26 සිදු වූ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට දින පනස් ගණනකට පසුව නැවත වතාවක් නිල වශයෙන් බස්නාහිර හා මහානගර අමාත්‍යාංශය මෙහෙයවන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. එය විශේෂයෙන්ම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුක්තිය අගයන ජනතාව ලබාගත් ජයග‍්‍රහණයක්.
මේ ඇති වූ කුමන්ත‍්‍රණකාරී වාතාවරණය නිසා අන්තර්ජාතිකව අපේ රටට ඇති වූ කැළල නිසා විශාල වශයෙන් ගැටළුවලට මුහුණ දුන් අමාත්‍යාංශයක් අපේ අමාත්‍යාංශය. මොකද අපේ රටට, අපේ ජනතාවට විශාල වශයෙන් බලපාන අපේ අමාත්‍යාංශය යෝජනා කර තිබූ ව්‍යාපෘති ගණනාවකටම කුමන්ත‍්‍රණය හරහා බරපතල හානියක් වුණා.
පසුගිය නොවැම්බර් 22 වෙනිදා අපි පළවෙනි දුමරිය මාර්ගය පිළිබඳව අපේ ණය ගිවිසුම අත්සන් කරන්න තිබුණා ජපානය සමග ඩොලර් මිලියන 1400 ක. එය 0.1% පොළියට අපි ලබා ගත්තේ.
ඒ වගේම අපි පෙන්වා දී තිබෙනවා එහි පූර්ව ශක්‍යතා අධ්‍යනයෙන් ඒ වියදම් කළ මුදල් වසර 14 කින් පසුව නැවත උපයා ගැනීමේ හැකියාවක් තිබෙන බව. ඒ අනුව මෙරට ජනතාව ණය බරට ලක් කරපු අධිවේගී මාර්ග නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල් වගේ නෙමෙයි මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ 1860 න් පසුව ඇති කරන ලද ප‍්‍රධානම විප්ලවය අපේ මේ සැහැල්ලූ දුම්රිය පද්ධති ක්‍රියාදාමය.
ඒ වගේ ව්‍යාපෘතියක් කිරීම ඉතාම අමාරුයි. උදාහරණයක් ගත්තොත් අපේ පවතින දුම්රිය පද්ධතිය පොල්ගහවෙල ඉඳන් ද්විත්ව දුම්රිය මාර්ගයක් කරන්න අවුරුදු 15 ක් තිස්සේ තවම බැරි උනා.
ඒ වගේම අපි සඳහන් කළ යුතුයි අධිවේගී මාර්ග කියන කාරණාව ගත්තාම, විශේෂයෙන්ම කටුනායක අධිවේගී මාර්ගය 1968 පටන් ගන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය 1991 පටන් අරන් තිබෙන්නේ දශක ගණන් ගත වුණා ඒ ව්‍යාපෘති කරන්න.
නමුත් අපෙ කණ්ඩායමේ තිබූ සාර්ථකත්වය නිසා අපි වසර තුනක් ඇතුළත ශක්‍යතා අධ්‍යන, ණය කොන්දේසි සහ අනෙකුත් කරුණු සියල්ලම අරගෙන මේ ණය අත්සන් කරන්න, ලබන වසරේ වැඩ ආරම්භ කරන්න හිටියේ. අපි ඉතාම කනගාටු වෙනවා මේ රටේ ප‍්‍රවාහන පද්ධතියේ ඉදිරි ගමන සඳහා තිබූ එම දියුණුව ඇනහිටීම ගැන.
නමුත් අපි උපරිම උත්සාහ කරනවා එය ලබන වසරේවත් එම කටයුතු නැවත ආරම්භ කරන්න. මොකද එය තාවකාලිකව නතර කර තිබෙන බව අපට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අපි අපේ ජනතාවගේ ජීවිත පහසු කරන්න තව දුම්රිය මාර්ග 4 ක් සඳහා පුද්ලික අංශයේ ආයෝජන බලාපොරොත්තුව හිටියේ.“